Home » අපේ සරසවි ඔසවන්න විදෙස් සරසවි සමඟ ගිවිසුම්

අපේ සරසවි ඔසවන්න විදෙස් සරසවි සමඟ ගිවිසුම්

by sachintha
January 29, 2025 1:02 am 0 comment

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීමේ දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශ විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගිතාවන් වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ගිවිසුම් කිහිපයකට එළැඹීමට රජය තීරණය කරයි.

මේ අනුව චීනය, ජපානය, නෝර්වේ, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය හා කොරියාව යන රටවල්වල ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල 8ක් හා මෙරට විශ්වවිද්‍යාල 5ක් අතර මේ ගිවිසුම් අත්සන් තැබේ.

අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති වශයෙන් අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) පැවැති කැබිනට් රැස්වීමේ දී මේ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

මේ යටතේ මහජන චීන සමූහාණ්ඩුවේ වූහාන් ක්‍රීඩා විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර ගිවිසුමක් අත්සන් තැබෙන අතර අධ්‍යාපන සහ පර්යේෂණ පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, ඒකාබද්ධව වැඩමුළු සම්මන්ත්‍රණ සංවිධානය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම අරමුණු කර මේ ගිවිසුම අත්සන් තැබීමට නියමිතය.

උසස් අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, උසස් අධ්‍යාපන විද්‍යාත්මක පර්යේෂණ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු, අධ්‍යයන කාර්යමණ්ඩල, පර්යේෂකයින් හා ශිෂ්‍යයින් හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ජපානයේ අයිසු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තැබේ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT