Home » රාජකාරි වේලාවෙන් පසු සැත්කම් කරන වෛද්‍යවරුන්ට-සේවකයන්ට ජනපති අරමුදලින් දිරි දීමනා

රාජකාරි වේලාවෙන් පසු සැත්කම් කරන වෛද්‍යවරුන්ට-සේවකයන්ට ජනපති අරමුදලින් දිරි දීමනා

by sachintha
January 29, 2025 12:50 am 0 comment

රජයේ රෝහල්වල සැත්කම් පොරොත්තු ලේඛනයේ වැඩි කාලයක් රෝගීන්ට රැඳී සිටීමට සිදුවන බැවින් ඊට විසඳුමක් ලෙස සිය රාජකාරි වේලාවෙන් පසු සැත්කම් කරන සහ එම සේවාවන් ඉටුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ජනපති අරමුදලින් දිරි දීමනාවක් ලබාදීම කෙරෙහි ජනපති අරමුදලේ පාලක සභාවේ අවධානය යොමුව ඇත.

මේ වන විට මෙම ක්‍රමවේදය කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට ජනපති අරමුදලේ පාලක සභාව සාකච්ඡාකර තිබේ. ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ගෙන ඇත.

රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය ද මෙහි දී හිමිව ඇත.

අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ජනාධිපති අරමුදලින් පහසුකම් සැලසීම තව දුරටත් පුළුල් කිරීම පිළිබඳ ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය ලබන දරු දැරියන් මූලික කර ගනිමින් නව වැඩසටහන් ආරම්භ කිරීමටත්, දැනට පවතින වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් සැලසුම් කෙරිණි.

ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, නව යෝජනා සහ පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීම පිළිබඳ ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදා‍ස, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී.ජයකොඩි, හිටපු විගණකාධිපති මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහත්වරු ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT