Home » ලේක්හවුස් හිටපු සභාපති ලක්ෂ්මන් ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් හිටපු සභාපති ලක්ෂ්මන් ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

by sachintha
January 29, 2025 1:54 am 0 comment

ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු‌ මෙන්ම මාධ්‍ය උපදේශකවරයකුද වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.

ඒ මහතා 1994 වසරේ අගෝස්තු 24 දා ලේක්හවුස් සභාපතිවරයා වශයෙන් පත් වූ අතර 1995 වසරේ නොවැම්බර් මාසය දක්වා ධුරය දැරූ කාලසීමාවේදී ආයතනයේ සහ සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර රැසක් ගනු ලැබීය.

ලේක්හවුස් ආයතනයේ පුවත්පත් අන්තර්ජාලයට එක් කිරීමේ ව්‍යාපෘතිය 1995 දී ආරම්භ කළ ඒ මහතා, ආයතනය තාක්ෂණික ලෝකය කරා ගෙන යාමේ පුරෝගාමියා ලෙස ගෞරවයට පාත්‍ර වෙයි. ඔහු ඩේලි නිවුස් හා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත් අනතර්ජාල සංස්කරණයන් ආරම්භ කිරීමට කටයුතු කළ අතර පුවත්පත් කලා පුහුණු ආයතනයක් ද ආරම්භ කරනු ලැබීය. ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය පුස්තකාලය පරිගණකගත කොට පුස්තකාලය සංවර්ධනය කිරීමට ද ඒ මහතාගේ සමයේදී පියවර ගනු ලැබිණි. ලේක්හවුස් පුවත්පත්වල ගුණාත්මකභාවය වර්ධනයට පියවර රැසක් ගනු ලැබූ ජයවර්ධන මහතා, කලක් ලේක්හවුස් ආයතනයේ ඔබ්සර්වර් පුවත්පතේ සේවය කළේය. හෙතෙම ලංකාදීප පුවත්පත ආරම්භ කිරීමට කටයුතු කළ ප්‍රමුඛයකු ද විය. මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශාල සේවාවක් කළ ජයවර්ධන මහතා, පසුව කැනඩාව සහ ඉන්දියාව යන රටවල ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙසද කටයුතු කරනු ලැබීය.

අනගාරික ධර්මපාලතුමා පිළිබඳ විශිෂ්ට කෘතියක් රචනා කර ඇති ඒ මහතා, අන්තර්ජාලය, ශ්‍රී ලංකා විදේශ සේවය පිළිබඳ පොත් රැසක් ලියා ඇත.

ඒ මහතාගේ දේහය මහරගම නිවෙසට හෙට (30) රැගෙන විත් අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පෙබරවාරි 1දා සවස 4 ට මහරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT