Monday, April 21, 2025
Home » නව වසරට සෙත්පතා කරන ගම්මඩු දේවමඩු ශාන්තිකර්මය

නව වසරට සෙත්පතා කරන ගම්මඩු දේවමඩු ශාන්තිකර්මය

by sachintha
January 29, 2025 1:26 am 0 comment

නව වසර උදාවීමත් සමඟ බොහෝ ප්‍රදේශවල ජනතාව ගම්මඩු, දේවමඩු ශාන්තිකර්මය පවත්වා රටට ජනතාවට දේවාශිර්වාදය ලබාගැනීමට කටයුතු කරති. වසංගත රෝග දෙවියන්ගේ රෝග, දුර්භික්ෂ ගංවතුර, නියඟය ආදී මෙන්ම අම්මාගේ රෝග වළක්වා ගැනීම සඳහා ද මූලිකකොට මෙම ශාන්තිකර්මය පවත්වයි. කෘෂිකාර්මික ආරක්ෂාව සඳහා ද පවත්වන මෙම ශාන්තිකර්මයේදී භවභෝග නෙළාගත් පසු ඉන් ප්‍රථම කොටස බුදුරජාණන්වහන්සේට පුදා දෙවියන්ට පූජා කිරීමත් නව වසරේදී අපල උපද්‍රවවලින් රට බේරාදෙන ලෙසටත් ඉල්ලමින් දෙවියන් ප්‍රධානකොට මෙම ශාන්තිකර්මය පවත්වයි.

ශාන්තිකර්මය සඳහා සහභාගිවන සියලුම ඇදුරන් පළමුව ස්නානයකොට පිරිසුදු වී ගුණධර්ම සඳහා පේවීම සිදුකෙරේ. දෙවනුව මිල්ලකැපීම සිදු කෙරේ. ඒ ගිනිපෑගීම සඳහා ගනු ලබන මිල්ලගස කැපීමයි. ඉන් අනතුරුව සිදු කෙරෙන්නේ බිසෝ කප් සිටුවීමයි. සේරමාන් රජුගේ රෝගය සඳහා සඳුන් ලීයක්ගෙන බිසව විසින් සිටුවන ලද කණුව මෙසේ බිසෝ කප ලෙස හැඳින්වේ. ඒ සඳහා කෙසෙල් කඳක්ගෙන ගොක්කොළවලින් අලංකාර ලෙස සරසා සාදන ලද මහ තොරණ අසල සිටුවා පහන් දල්වා පඬුරු ඔප්පු කරති. මෙම සෙත් ශාන්තියේදී සකස් කරනු ලබන පත්‍රවලින් හැඩගස්වා ඇති දාහතරකින් යුත් පුනාව පේ කිරීම ද සිදුකෙරේ. යාම තුනක් පේකොට සියලු වස්දොස් පුනාවට එක්කර දිය කඩිත්තක් ළඟට ගොස් වසුපැටවකුගේ හිසේ ගසා පුනාව බිඳ වස් අරිති.

දෙවියන් පිදීම සඳහා තෙල් සිඳුණු ලබන්නේද වෙන් වෙන් වශයෙනි. දැඩිමුණ්ඩ, කතරගම වාහල දෙවොල් දෙවියන්ට මල් යහන් හතරක් සාදා ඒ මත පහන් පිදීම සිදුකෙරේ. කාල පන්දම, තොරණේ යාගය, මල් පහන් පූජාව ආදී සියල්ල සිදුකරනු ලබන්නේ සියලු ශබ්ද පූජාව සමඟිනි. තෙල්මේ නැටීම, වෙස්පෑම, ගරා නැටීම, කිරි ඉතිරවීම මෙන්ම අලංකාරවත් වූ නැටුම් ගැයුම් ද පිළිවෙළ අනුව සිදු කෙරේ.

මෙම ශාන්තිකර්මය පිළිබඳ යම් යම් වෙනස්කම් සහිතව අතීත තොරතුරු රැසක්ම පවතී. ඉන්දියාවේ විසූ සේරමාන් රජතුමා දිනක් නින්දේ පසුවෙද්දී ගෝණකුගේ ශබ්දයක් ඇසී බිය වී නින්දෙන් අවදි විය. ඉන් මහත්සේ කෝපයට පත් රජු එම ගෝණා කැලෑවැදුණු බව කියා ගෝනා මරා දැමීමට රජු ඇමැතියන් සමඟ කැලෑවට ගියේය. එසේ කැලෑවැදුණු රජු ඇමැතියන් අමතා ගෝණකු දුටුවහොත් වටලා මරා දැමිය යුතු බවත් යම් හෙයකින් ඇමැතියකු අසලින් ගෝණා පැනගියහොත් එම ඇමතියාගේ හිස ගසා දමන බවත් කීය. එසේ කී සැණින්ම ගෝණකු පැනයන බව දැක වටකරන ලදී. එහිදී ද ගෝණා රැකවල් අතරින් පැනයන ලදි. එහි දී රජතුමා ඇතුළු ඇමැතිවරු ගෝණා පසුපස ලුහුබඳිමින් ගෝණා අල්ලාගැනීම සඳහා දිව ගියහ.

මර බියෙන් දුව ගිය ගෝණාට ඇති වූ වේදනාව නිසා වෛර සහගතව වැටී මිය ගියේය. එය දුටු රජතුමාට ඇතිවූයේ මහත් වේදනාවකි. ඉන් ඇති වූ මානසික පීඩාව මහත් වද දෙන්නක් විය. රජු දිනපතා මුහුණ සේදීමෙන් පසු මානෙල් මලක් සිප ගැනීමේ පිරිතක් ද පැවැතියේය. එසේ මලක් සිප ගැනීමේදී එම මලෙහි ගෙඹි පැටියෙක් සිටිනු බව දුටු බැවින් එය ඉවත් කර දමන ලදි. එහෙත් රජුට තද හිසරදයක් හටගන්නා ලදි.

එසේ වූයේ ගෙඹි පැටියා මොළයට යන්නට ඇතැයි රජු විසින්ම විශ්වාස කළ බැවිනි. ඒ සඳහා රාජ වෛද්‍යවරුන් විසින් රජුට කොතෙක් ප්‍රතිකාර කළත් සුවයක් ඇති වූයේ නැත. මේ අතර රජු වෙනදා මෙන් නින්දේ පසු වෙද්දී රජු මෙවන් සිහිනයක් දැකීමෙන් පිබිදුනි. ඒ ඉතා සුරූපී කුමරියක් අහසේ පාවෙමින් යන සැටියි. එදින තමා දුටු සිහිනය ගැන කල්පනා කරමින් හිටි රජතුමා රජවාසල බමුණන් කැඳවා තමා දුටු සිහිනය සැලකර සිටියේය. මෙහිදී බමුණන් රජතුමාට පවසා සිටියේ සතරවරම් දෙවියන්ගේ දේවාලයකට ගොස් දේව දානයක් දී සෙත් ශාන්තියක් පැවැත්වීම එහි තේරුම බවයි. එවැනි දේවාලයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බැවින් එහි ගොස් යාගය පැවැත්වීමට රජුගේ එකඟතාවය පළ විය. ඒ අනුව මෙරටට පැමිණි රජතුමා පළමුව කැළණි විහාරයට ගොස් පින්දහම් කරමින් දුගී මගී යාචකයින්ට දන් දෙමින් සිට නවගමුව සත්පත්තිනි දේවාලයට ළඟාවිය. එහිදී දේවාලයෙහිදී පුද පූජා පවත්වා රජුගේ හිසේ ප්‍රමාණයට රත්රන් අඹයක් සාදවා පූජා කළහ. ඉන් අනතුරුව සීතාවක රජු වෙත ගිය සේරමාන් රජු රුවන්වැල්ල දේවාලයටද පුදපූජා පැවැත්විය.

මෙහිදී සේරමාන් රජු පළමුව ගම්මඩුවක් පැවැත්වීමට කටයුතු කරන ලදි. ගම්මඩුවක් පවත්වනු ලබන්නේ කෙම්මුර දිනයකදීය. විශේෂයෙන් ඒ සඳහා යොදාගනු ලබන්නේ සෙනසුරාදා දිනයකි. ගම්මඩුවේ අනුපිළිවෙළ අනුව සියලු කටයුතු සිදු කෙරේ. තෙරුවන් වැඳීම, පහන් දැල්වීම, දලුමුර පූජාව, මඟුල්කප සිටුවීම, දෙවන දින අලුයම කිරි ආහාර බුද්ධ පූජාව, දේවදානය, ශාන්ති කර්මවිධි, පස්වරු හතරයි තිහේ සිට පසුදින දහවල දක්වා තෙරුවන් වැඳීම, මිල්ල කැපීම, පත්තිනි දේවිය මැවූ ගිනිකඳු තරණය කිරීම, ගිනි පෑගීම සඳහා මිල්ලගස කැපීම, පහන් දැල්වීම ද වේ. ආලෝකය පතුරුවා හැරීම සඳහා කාල පන්දමක් දල්වයි. පුවක්ගසක් සුද්ධ පවිත්‍රකොට ගොක්කොළ වලින් පුවක් ගස සරසා පුවක් ගසේ කෙළවර මුදුනේ පන්දමක් බඳිනු ලබයි. ඒ අවස්ථාවේද බෙර වයමින් ශබ්ද පූජාව පවත්වයි.

මඟුල් බෙර පූජාව, තෙල්මේ නැටීම, පත්තිනි සලඹ ගෙන පවන් සලා ලෙඩ රෝග දුරු කිරීම, යාමයේ යකුන් පිදීම,වාහල නැටීම, කුරුබිම්බර පූජාව, ගරායක් නැටුම, කිරි ඉතිරවීම, දේවදානය දීමෙන් පසු පින්දීමෙන් නිමවේ. ගම්මඩු ශාන්තිකර්මය යම් යම් වෙනස්කම්වලින් යුක්තව ඒ ඒ ප්‍රදේශවල පැවැත්වේ. මුඛ පරම්පරාගත කථාවලට අනුව ගම්මඩු, දේවමඩු සෑම කතාවකටම මුල් වී ඇත්තේ ඉන්දියාවේ කේරළයේ කාවේරි පුර රාජ්‍ය කළ සේරමාන් රජුය.

උපදෙස් – පාරම්පරික ජ්‍යොතිෂවේදී

ජ්‍යෙතිෂ් ප්‍රභාෂ්වර

මොරටුවේ තිස්ස මහානාම

බී.ඇල්. ප්‍රේමරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT