නිෙවස වූ කලී සෑම කෙනෙකුටම සැප, නිරෝගී බව ආයුබල හා සතුට, සාමයෙන් යුතුව ජීවත්වීමට සුදුසු ස්ථානයකි. පැරණි වාස්තු විද්‍යා ආචාර්යවරුන්ගේ ඉගැන්වීමට අනුව ඒ සියලු සම්පත් එක්තැන් වන නිවෙසක් නිර්මාණය වන්නේ වාස්තු විද්‍යානුකූලව නිවෙස ගොඩනැඟුණොත් පමණි.
නිෙවසක් ගොඩනැඟීමේදී දැනගත යුතු බොහෝ කරුණු ඇත. අද මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ නිෙවසක් ඉදිකිරීමේදී ආරම්භ වන පළමු පියවර වන මුල්ගල තැබීමේදී අනුගමනය කරන වත්පිළිවෙත් කිහිපයක් පිළිබඳ දැනුම්වත් කිරීමටයි.
නිවෙසක මුල්ගල තැබීමේදී වාස්තු රාජවල්ලභයෙහි දක්වා ඇති කරුණු අනුව නිවාස ඉදිකිරීම පිණිස සුදුසු හා නුසුදුසු මාස වශයෙන් මෙසේ දක්වා ඇත.
චන්ද්‍ර මාස ක්‍රමයෙන් බක්, පොසොන්, ඇසළ, බිනර, වප් සහ නවම් යන මාස එතරම් සුබදායක නොවනු ඇත. ඒ සඳහා වෙසක්, නිකිණි, උඳුවප්, දුරුතු හා මැදින් යන මාස වඩාත් යෝග්‍ය වනු ඇත. වෙසක් මාසයේ ඉදිකරන නිවෙසකට ධනනිධාන හා සම්පත් ළඟාවෙතැයි දැක්වේ. එසේම නිකිණි මාසයේ ඉදිකරනු ලබන නිවෙස් හිමියන්ට යාන වාහන ආදී සම්පත් ලැබෙන්නැයි ද උඳුවප් සහ දුරුතු මාසවල නිවෙස ඉදිකිරීමෙන් දියුණුව ද, මැදින් මාසයේ ශ්‍රියාව ද ඇතිකරයි. රවී, මේෂ රාශියේ ගමන් කරන කාලයේ නිවාස ඉදිකිරීම යහපත් වන අතර, රවී මේෂ රාශියට උච්ච බල සහිත නිසා විශේෂ ශක්තියක් ඇතිවේ.
නිවෙසක් ඉදිකිරීමේදී එහි පළමු පියවර වන්නේ මුල්ගල තැබීමයි. නිවෙසකට මුල්ගලක් තැබීමේදී එය නිසි ලෙස, නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් තැබිය යුතු වේ. එසේ නොමැති වූ විට නිවැසියනට විවිධ කරදර, බාධකවලට මුහුණපෑමට සිදුවන අතර, නිවෙස ඉදිකිරීමේ කටයුතු ප්‍රමාදවීම වැනි බලාපොරොත්තු නොවූ බාධකවලට මුහුණපෑමට සිදු වෙයි.
මුල්ගල තැබීමේදී එම මුල්ගල තමාටම සාදාගත හැකිය. සිමෙන්ති ගලක හැඩය ගත් ගලක් ඇතුළත කුහරයත් සමඟ ගල සාදාගත යුතුයි. මෙය විවිධ දිග, පළල ඇතිව සාදාගත හැකියි. මෙහිදී සාමාන්‍යෙයන් දිග අඟල් 10 හා පළල අඟල් 1 ½ වශයෙන් ගැනීම සුබදායකයි. මුල්ගල තමා විසින් සාදාගනු ලබන්නේ නම් ඒ සඳහා අවශ්‍ය තැන්පත් ද්‍රව්‍ය ඔබ විසින් සපයාගත හැකි වෙයි.
මුල්ගල සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
නවරත්න, පස්ලෝ, ගිරියල්, එනසාල්, එල අබ කැකුළු හාල්, ඊතණ, සමන් කැකුළු, රත් මල් කැකුළු, නෙළුම් රේණු, නාමල් රේණු, නෙළුම් අල, මානෙල් අල, උඳු, මුං, තල, මෑ, ඇල්වි, ඇල්හාල්, සැවැන්දරා, ගුගුල්, අගිල්, සුදු හඳුන්, රත්හඳුන්, ගොරෝචන, කස්තුරි, කපුරු, කපු ඇට, මුහුදු වැලි, ගඟේ වැලි, දෙපල් අතර පස්, පර්වත පස්, ඔයේ පස්, ඇත්දළ පස් නොඅඩුවම අඩංගු කරගත යුතු වේ.
මෙම ද්‍රව්‍ය ගල තුළ ඇති කුහරයේ තැන්පත් කර කුහරය තුළ වන අඩුපාඩුව මැකීමට මුහුදු වැලි හෝ වී දමා පුරවාගත යුතුයි. මෙය පිරී නොතිබීම අසුබයක් යැයි පිළිගැනේ.
අද පවතින කාර්යබහුලත්වයත් සමඟ මෙම සියලු ද්‍රව්‍ය සොයාගෙන තමන් විසින්ම මුල්ගල සාදා ගැනීම අසීරු කරුණක් වේ. වෙළෙඳපොළේ විවිධ ව්‍යාපාර නාමවලින් විවිධ දිග, පළල යටතේ සැකසුණු මුල්ගල් ඔබට ලබාගත හැකියි. එහෙත් මෙහිදී සඳහන් කළ යුතු කරුණක් වන්නේ වෙළෙඳපොළේ ඇති මුල්ගල සඳහා ඇති බෙහෙත් ද්‍රව්‍ය මුල්ගලෙහි තැන්පත් කිරීමේදී අඩුපාඩුවක් සිදු වුවහොත් ඇතිවන හිඩැස පිරවීමට මුහුදු වැලි හෝ වී දමා සකසා ගත යුතුයි. ඊට අමතරව මෙහිදී රත්රන් කැබැල්ලක්, මැණික්, රිදී, තඹ ආදී වටිනා ද්‍රව්‍යයක් ද මෙම ගල තුළ තැන්පත් කිරීම සුබදායක වේ. මෙසේ ක්‍රමානුකූලව සකස් කර ගන්නා මුල්ගල පිරිත් කර ගැනීම හෝ තමන් අදහන ආගමට අනුව ආශීර්වාද කර ගැනීම යහපත් වේ.
මෙහිදී මුල්ගල තැබීමට පෙර ඉටුකළ යුතු කාර්ය තුනක් සඳහා ජ්‍යොතිෂවේදියකු විසින් නැකත් තුනක් සාදා දෙනු ලබයි. එනම් ලණු ඇදීම, ගෙපැල කැපීම, මුල්ගල තැබීම සඳහායි.
ලණු ඇදීම
නිවෙස සෑදීමට බාරදුන් පුද්ගලයා විසින් පළමුව ගෙබිම පිරිසුදු කර සැලසුම සඳහා අවශ්‍ය වන ලණු ඇදීම සිදුකරනු ලබයි. මෙහිදී නැකත් හෝරාවට පළමු කූඤ්ඤය ගසනු ලබන අතර, මෙම කටයුත්ත නිවෙස ඉදිකිරීමේදී සුබ නැකතින් කරනු ලබන තවත් කටයුත්තකි.
ගෙපැල කැපීම
මෙහිදී ද නැකත් සිහුම් වන පුද්ගලයා විසින් සුබ නැකතින් මංගල පස් පිඩැල්ල කපා, එම පස් ඉවතට නොදමා නැවුම් භාජනයකට දමා එය බිම නොතබා තමා විසින්ම ගලාගෙන යන ජලයේ පා කර හැරීම සිදු කළ යුතුයි. එසේම පවුලේ අනෙකුත් සාමාජිකයන් විසින් ද උදැල්ල බිම නොතබමින්ම පස් පිඩැලි කපා ආශීර්වාද ලබාගැනීම සුබදායක වේ.
අත්තිවාරම කැපීමෙන් අනතුරුව එම ස්ථානයේ නියමිත නැකතකට නියමිත දිසාව බලා නැකැත් හිමියා විසින් අංගසම්පූර්ණ සකසා ගන්නා ලද මුල්ගල තැන්පත් කළ යුතුයි.
මුල්ගල තැන්පත් කළ යුතු පිළිවෙළ
මුල්ගල තැබීමට හැකි ප්‍රමාණයේ කළුගල් පතුරක් ගෙන එම කළුගල් පතුරු පිරිසුදු කර තබාගන්න. අත්තිවාරම කපා, සකසා ගන්නා ලද ස්ථානයට කහ දියර ඉස, සුවඳ දුම් අල්ලා නැකත් වේලාවට මුල්ගල තැබීමට සකසාගත යුතු වේ. නියමිත නැකත් වේලාව පැමිණෙන විට මෙම කළුගල් පතුර මත මුල්ගල තබා සුබ නැකතට සියලු ආශීර්වාද මැද මෙම මුල්ගල තැන්පත් කළ යුතු වේ. තැබූ මුල්ගල ආවරණය වන පරිදි පළමුව බැම්ම බඳින්න.
මේ අවස්ථාවේදී නිවෙස ඉදිකරන ශිල්පීන් සතුටට පත්කිරීම (තෑගි බෝග දීම) නිෙවසේ වැඩ කටයුතු ඉක්මන් වීමට තවත් රුකුලක් වනු ඇත.
සුනිල් කුමාර වත්තගේ
වාස්තු විද්‍යාවේදී, වාස්තු විද්‍යා උපදේශක