වර්තමානයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල තත්ත්වයත් ඒවායෙහි පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කරන ආකාරයත් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.
අපට වුවමනා කරන්නේ ස්ථාවර රටක්
පොඩි කාලයක් දෙන්න, ස්ථීරවම අපි රට හදනවා
මහපොළ ශිෂ්‍යත්වය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා
ජනතාව බලාපොරොත්තු රාශියක් ඇතිව ජාතික ජන බලවේගයට රටේ පාලන බලය දුන්නා. මේ ආණ්ඩුවත් ජනතාවට දැනෙන්න දෙයක් කරන්න අසමත් වෙලා කියලා ඇතැමුන් කියනවා. මෙයට ඔබේ පිළිතුර කුමක්ද ?
“මේවා කියන්නේ විපක්ෂයේ කණ්ඩායම් සහ ඒ අයට ඡන්දය දුන් යම්කිසි පිරිසක් කියලා මම දන්නවා. සජිත් ඇතුළු වෙනත් අයට ඡන්දය දුන් අය පවා දැන් කියනවා, අපි මාලිමාවට ඡන්දය දුන්නේ නෑ තමයි. නමුත්, මේ ගෙනයන වැඩපිළිවෙළ අගය කරනවා කියලා. අපි භාර ගත්තේ හොඳට සුමටව දුවපු රටක් නම්, අපට තිබුණේ එතැනින් එහාට යන්නයි. නමුත් අපට ලැබුණේ හැම පැත්තකින්ම වැටුණු රටක්. රාජ්‍යයන්ත්‍රණයේ සියලු ව්‍යුහයන් කඩාවට්ටලයි තිබුණේ. රාජ්‍ය නිලධාරීන්ගේ කොඳු කඩලා තිබුණේ. හැම තැනකම දූෂණය ඉහවහා ගිහිල්ලා. කොමිස් කියන එක ඇඟේ හැපෙන ගැනට ඇවිත් තිබුණේ. එහෙම තැනක් තමා අපි මේ සුද්ධ කරගෙන, නිවැරදි කරගෙන යන්නෙ. ඒකට යම් කාලයක් ගතවෙනවා.
ජනතාවගේ ඇස් ගිනිකන වැටෙන තාවකාලික සංදර්ශනවලින් ඔවුන් මෝහනයට පත්කරන්න අපි ආණ්ඩුවක් හැටියට සූදානම් නෑ. දින සියයේ, දින දෙසීයේ වැඩපිළිවෙළවල් කියා එක එක ආණ්ඩු කළේ මොකක් හරි දෙයක් භාණ්ඩාගාරයේ ඉතිරිවෙලා තිබුණා නම් එය හිතුමතේ බෙදා දැමීමයි. අපට වුවමනා ස්ථාවර රටක්. එනිසා අපේ කැබිනට් මණ්ඩලය, අපේ අමාත්‍යාංශ මේ දවස්වල වැඩිපුරම මහන්සි වෙන්නේ මේ ව්‍යුහය සකස් කර ගැනීමටයි. පදනම හදාගත්තොත් ශක්තිමත්ව එතැනින් එහාට වේගයෙන් අපට ඉදිරියට යන්න පුළුවන්. කාටහරි පේනවා නම් ඔවුන් බලාපොරොත්තු වූ දේ වුණේ නෑ කියලා, මම කියනවා, පොඩි කාලයක් බලාගෙන ඉන්න අපි ස්ථාවරව පදනම හදනවා, ඒ පදනමෙන් ඔබ බලාපොරොත්තු වූ දෙයටත් වඩා යමක් ඔබට ලැබෙනවා. දැනුත් නොලැබිලා නෙමෙයි. ගොවියාට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලැබී තිබෙනවා. ධීවරයාට තෙල් සහනාධාරය ලැබී තියෙනවා. රටේ පාසල් දහදාහෙන් තුනෙන් දෙකක දරුවන්ට රුපියල් 6000 පොත් ලබා ගැනීමේ දීමනාව ලබා දෙනවා. ඉදිරි මාස කිහිපය ඇතුළතදී අස්වැසුම සඳහා තවත් ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් වැඩි කරන්න, වැඩිහිටි දීමනාව වැඩි කරන්න, ආබාධිත දීමනා වැඩි කරන්න කටයුතු කර තිබෙනවා. අනෙක් පැත්තෙන් පැවති ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තිබෙනවා. මේ ආකාරයට විවිධ පැතිවලින් සහන දී තිබෙනවා. තෙල් මිලත් මාසයෙන් මාසය අඩු කරන්න බැරිවුණාට පළමුව දුන් සහනය ජනතාවට යම් මට්ටමකට දැනී තියෙනවා. විදුලි බිල වැඩි නොකර තියාගෙන ඉන්නවා.
මේ සහන ලැබී තියෙන නිසානෙ වෙනදාට වඩා උත්සවකාරී ස්වරූපයක් රටේ තියෙන්නෙ. සති අන්තයේ දිනවල සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ගෙන් පිරිලා. දෙසැම්බර් අග ජනවාරි මුල වගේ උත්සව කාලෙදී ජනතාව නගරවලට ආවා. මෙලෙස ජනතාව එන්නේ ආර්ථිකයේ යම් සහනයක් ලැබෙන නිසයි.
මෙවර අය-වැයේදී අනිවාර්යයෙන්ම රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් දෙනවා. දැනෙන ලෙස එය දෙනවා. මහපොළ ශිෂ්‍යත්වය වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ දෙසැම්බර් 31 වැනිදායින් ලක්ෂ හතරකගේ අස්වැසුම නතර වෙන්න තිබුණේ. එය අපි තව මාස තුනකට දීර්ඝ කර තිබෙනවා. මාර්තු 31 වැනිදායි අවසන් වෙන්න තිබූ තවත් පවුල් ලක්ෂ අටකට තවත් අවුරුද්දක් අස්වැසුම දීර්ඝ කර තිබෙනවා. රුපියල් 8500ක් ගත් අයට රුපියල් 10,000ක් ලැබෙනවා. රුපියල් 15,000ක් ලැබුණු අයට රුපියල් 17,500ක් ලැබෙනවා. මේ ආකාරයට දෙන්න පුළුවන් සහන දෙමින් ඉන්නවා. හැබැයි තේරුම්ගන්න ඕනෙ, අපට ලැබුණෙ ඉතාම අසීරු අඩියක තිබුණු රටක්. එනිසා අපි ක්‍රමානුකූලව දැන් තැනකට අරන් තියෙනවා.”
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඒ වෙනුවෙන් සැලසුම් සැකසෙන්නේ කෙසේද ?
“සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමස්ත රාජ්‍ය සේවයම වගේ අවුල් කරලයි තිබුණේ. සමහර ඇමැතිවරුන් ඇවිත් කර තිබුණේම කොහෙන් කොහෙන් හරි අරන් බලය පාවිච්චි කරලා අරමුදල්වලින්, සෞඛ්‍ය අමාත්‍යාංශයට හිමි වූ දේවල් තැන් තැන්වලට බෙදපු එක. හරිම අවිධිමත්. සෞඛ්‍යය ප්‍රශස්ත සේවාවක් බවට පත් කරන්න නම් අපි එය විධිමත්ව සැලසුම්කරණය කළ යුතුයි. එනිසා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ තමා මෙහෙයවන්න කටයුතු කරමින් යන්නේ. එකක් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම. අපේ රටේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වැඩි වෙනවා. බෝනොවන රෝග වේගයෙන් ව්‍යාප්ත වෙනවා. එසේ නම් අපට නිවෙසේ සිට මිනිත්තු 20කින් පමණ ඇවිත් බාහිර රෝගවලට ප්‍රතිකාර ගන්න පුළුවන් සායන පහසුකම් සහිත තැනක් අවශ්‍යයි. ඒකට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ කාලයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මුදල් වෙන් කර තිබුණාට ඒ මුදල් යොදවා තිබුණේ දැන් පවතින සෞඛ්‍ය සේවාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ගොඩනඟන්න. අපේ බලාපොරොත්තුව තියෙන්නෙ ඉදිරි වසර කිහිපය ඇතුළතදී භෞතිකව මේ මධ්‍යස්ථාන ඉදිකර ජනතාවට ඉතා පහසුවෙන්, සුළු වේලාවකින් තමන්ගේ සායනික සහ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ගන්න තැනකට යොමු වෙන්න. මේකට අපි තාක්ෂණය ගේනවා. එවිට ජනතාවගේ සියලු සෞඛ්‍ය දත්ත එතැන වාර්තා වෙනවා. අපි ඒ අයට තමන්ට ප්‍රතිකාර ගන්න අවශ්‍ය කරන දිනය සහ වේලාව කලින් දැනුම් දෙනවා. පෝලිම් නැති කරන්න පුළුවන් ක්‍රමය ඒකයි.
දෙවැන්න ද්විතීක සහ තෘතීයික. ඒ කියන්නේ අපේ මූලික රෝහල්වල සිට ජාතික රෝහල් දක්වා වූ පද්ධතියේ තියෙනවා, අවිධිමත් සංවර්ධනයක්. අපට ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය 2000කට ආසන්නයි. වෛද්‍ය කාර්ය මණ්ඩලය 18,000ක් ඉන්නවා. අනෙක් ක්ෂේත්‍රවලත් හිඟයක් පවතිනවා. සමහර නිලධාරීන් පුහුණු කරගන්න අවුරුදු තුනක්වත් ගතවෙනවා. එනිසා අපි බලන්න ඕනෙ, අපට ඉන්න කාර්ය මණ්ඩලය, අපට තියෙන භාණ්ඩාගාරයේ ප්‍රමාණය අනුව කොහොමද මෙය ව්‍යාප්ත කරන්නෙ කියලා. ඒ අනුව විශේෂිත රෝග ඒකක තවදුරටත් ශක්තිමත් කරන්නත්, ජනගහන ව්‍යාප්තිය සහ ජනතාවගේ අවශ්‍යතා අනුව සැලසුමක් ඇතිව මේ ද්විතීයික සහ තෘතීයික රෝහල් පද්ධතිය සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ සැලසුම් අංශය හරහා සියලු සැලසුම් සකස් කරන්න කටයුතු කර තිබෙනවා. මෙතැනින් එහාට භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරන්නෙත් ඒ සැලසුම්වලට අනුකූලවයි. ඒ වගේම පරිත්‍යාගශීලීන්ගෙන් සහ දානපතියන්ගෙන් උදව් ගන්නෙත් ඒ සැලැස්මට අනුවයි.”
ජනමාධ්‍යයේ සදාචාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද ?
“රාජ්‍ය මාධ්‍ය ආයතන පමණක් නොව පෞද්ගලික මාධ්‍ය ආයතනවල ඉන්න මාධ්‍යවේදීන් සමඟත් අපි ඉතා සුහදව කටයුතු කරනවා. මේ මාධ්‍යවේදීන් බහුතරයකට වුවමනාවක් තියෙන්නේ රට හොඳ පැත්තකට අරගෙන යන්න. නමුත් සමහර මාධ්‍ය ආයතන හිමිකරුවන්ට වුවමනා වී තිබෙන්නේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට හෝ රට ඉදිරියට ගෙනයෑමට නොවේ. ඔවුන්ට තිබෙන්නේ ඉතාම පටු දේශපාලන වුවමනාවන්. පෞද්ගලික වුවමනාවන්. කෙනකුට එය දේශපාලන බලය සම්බන්ධ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. තව කෙනකුට එය තමන්ගේ පවුලේ තිබෙන ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීමට වෙන්නත් පුළුවන්. මේ ඕනෑම මාධ්‍යයක් පරිහරණය කරන්නේ මේ රටේ පුරවැසියා. එසේනම් මාධ්‍ය ආයතනවලට වගකීමක් තියෙනවා, තමන්ගේ අරමුණු පැත්තක තියලා රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය භාවිත කරන්න.
රටේ අවශ්‍යතාව නොසලකා තමන්ගේ පෞද්ගලික හෝ දේශපාලන වුවමනාව වෙනුවෙන් මාධ්‍ය හසුරුවන්න ගියාම ඇති වූ සිද්ධි කිහිපයක් තමා අපි පසුගියදා හෙළිදරව් කළේ. අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට පාර්ලිමේන්තුවේදීත්, එයින් පිටතදීත් අපි කළේ මේවා හෙළිදරව් කිරීම. ඒ හෙළිදරව් කිරීම් ඇතුළෙ ඒ ආයතනවල වැඩ කරන මාධ්‍යවේදීන්ගෙත් යම් මැදිහත්වීමක් සහිතව මාධ්‍ය හිමිකරුවන් නිවැරදි වෙයි කියා අපි සිතනවා.
පසුගිය නොවැම්බර් 25 සහ 26 සමහර මාධ්‍ය ආයතන කිහිපයක් රටේ ජාතීන් අතර අසමගිය හදන්න දැනුම්වත්ව උත්සාහ කරමින් හිටියා. 2018, 2019 කාලයේ ලංකාවේ සමහර පැතිවල සිදුවූ සැමරුම්, කැනඩාව වගේ රටවල සිදු වූ සිදුවීම් දැන් මේ මොහොතේ සිදු වන බව විකෘති කර මාධ්‍යවල පළ කරමින් හිටියා. රටේ ජනතාවගේ සමගිය වෙනුවෙන් එවැනි අවස්ථාවල රජයට ප්‍රතිචාර දක්වන්න සිදු වෙනවා.
පසුගිය දිනවල චීනයේ පැතිර යන වයිරස් රෝගී තත්ත්වය ගැනත් මෙන්න දැන් රෝගියෙක් වාර්තා වුණා වගේ ජනතාව අතර බියක් ඇතිවන තරමට සමහර ප්‍රවෘත්ති පළ කර තිබුණා. මේවා කරන මාධ්‍ය ආයතන ගොඩක් නෑ. මේවායේ පළවැනි එක අත්වැරැද්දක් වෙන්න පුළුවන්. හැබැයි දෙක, තුන, හතර, පහ වෙනකොට ඒවා හිතාමතා සැලසුම්සහගතව කරන බව පේනවා. ඒවාට අපි මැදිහත්වීමක් කරන්න ඕනෙ. මේවාට අදාළ නීතිත් තියෙනවා. නමුත් දැනට අපි නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ජනමාධ්‍යවේදීන්ගේ නිදහස, මාධ්‍යයේ නිදහස ආරක්ෂා කරන්න දිවිහිමියෙන් කැප වෙනවා. නමුත් අපි පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් මාධ්‍ය භාවිත කරන මාධ්‍ය හිමිකරුවන්ට කියන්නෙ ඒ භාවිතාව රටට ගැළපෙන්නේ නෑ කියලයි. එය රටට ද්‍රෝහීකමක්. රට ආපස්සට අරන් යන්නයි ඔබ මේ උත්සාහ කරන්නෙ. එයට අපි ඉඩ දෙන්නේ නෑ.”
රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකත්වය අතර ගොඩනැඟෙන අන්‍යෝන්‍ය අවබෝධය බිඳින්න විපක්ෂයේ සමහර කණ්ඩායම් උත්සාහ කරන බවක් පේනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද ?
“රාජ්‍ය සේවයේ ඉන්නෙත් අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අයයි. රාජ්‍ය සේවය වැටුප් ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලින්. ඔවුන්ගේ බහුතරයකට වුවමනාව තියෙනවා, රට ඉදිරියට ගෙනයන්න. ඒ නිසා තමා පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී රාජ්‍ය සේවකයන් 80%කට වැඩි ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නෙ. පසුගිය කාලයේ සිදු වුණේ එයට ගැළපෙන දේශපාලන නායකත්වයක් නොලැබුණු එකයි. පැවති ඒ දේශපාලන නායකත්වය කටයුතු කර තිබෙන්නේ දූෂණ, වංචා, කොමිස් සහ තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගැනීම වෙනුවෙනුයි. ඉතිහාසයේ පළමු වතාවට මේ රාජ්‍ය නිලධාරීන්ට සහ රාජ්‍ය සේවකයන්ට මුණගැහෙනවා, තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය සහ තමන්ගේ බඩ වඩා ගැනීම පැත්තක තියලා රට වෙනුවෙන් අවංකව වෙහෙසෙන දේශපාලන නායකත්වයක්. මම හිතනවා, ඒකත් එක්ක අනුගත වෙන්න මේ රාජ්‍ය සේවකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් කියලා. දැන් ඔවුන් එතැනට එමින් ඉන්නෙ. ඒවායේ තැන් තැන්වල අඩුවැඩිවීම්, ප්‍රමාදයන් තියෙන්න පුළුවන්. අපි හිතන්නේ නෑ රාජ්‍ය සේවකයන් සහ රාජ්‍ය නිලධාරීන් හිතාමතා කඩාකප්පල්කාරීව රට ආපස්සට ගෙන යන්න කුමන්ත්‍රණය කරයි කියලා. එහෙම එකක් නෑ.
අපි රාජ්‍ය සේවය ගැන විශ්වාසය තබා තිබෙනවා. එනිසා අපි රාජ්‍ය සේවය ආරක්ෂා කරනවා. රාජ්‍ය සේවයට ඩිජිටල්කරණය හඳුන්වා දෙනවා. එවිට රාජ්‍ය සේවය සිදු කිරීම පහසුයි. රාජ්‍ය සේවය තුළ ප්‍රශ්නයක් තිබෙනවා, ජනතාව තුළ ඔවුන්ගේ සේවයට සරිලන ඇගයීමක් නෑ කියලා. ඒ වගේම ඔවුන්ටත් ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් වැටුපක් සහ පහසුකම් නෑ. මේ සියල්ල සලකා රාජ්‍ය සේවකයාත් තෘප්තිමත් කරන, රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවත් තෘප්තිමත් කරන වැඩපිළිවෙළකට අවතීර්ණ වෙමින් ඉන්නවා.
දිල්හානි ජයවර්ධන
ඡායාරූපය-විමල් කරුණාතිලක