යටත්විජිත පාලන සමයේ ඉන්දියාවේ සංවර්ධන ක්‍රියාවලියේදී එරට යළි ගොඩනැඟීම සඳහා මහත්මා ගාන්ධි විසින් ඉදිරිපත් කරන ලද සංකල්පීය මූලධර්ම තුනක් විය. ‘ලුණු, චරකය හා ස්වරාජ්‍යය’ ඒ සංකල්ප ත්‍රිත්වයයි.
මෙහි ‘ලුණු’ යන්නෙන් හැඳින්වූයේ යටත්විජිත පාලන සමයේදී පනවන ලද අසාධාරණ ලුණු බද්දට විරෝධය පා ජනතාව ලුණු භාවිතයෙන් ඈත් කරවීමේ ක්‍රියාවලියයි. එමඟින් ලුණු බද්ද ප්‍රායෝගික නොවන තත්ත්වයට පත් කරවීමට ගාන්ධිට හැකිවිය. ‘චරකය’ යනුවෙන් අදහස් වූයේ කපු ආශ්‍රිත ඇඳුම් ඉන්දීය වස්ත්‍ර මිල දී ගැනීම හා භාවිතයේ ක්‍රියාවලිය වන අතර, ගාන්ධිගේ සුප්‍රකට ඡායාරූපය පවා ඇත්තේ ඉන්දීය පේෂකර්ම ක්‍රියාවලිය හා සම්බන්ධ චරකය සමඟිනි. ‘ස්වරාජ්‍යය’ යන්නෙන් හින්දුත්වය සහ භගවත්ගීතාව මුල් වූ ඉන්දීය ජාතික රාජ්‍යය ගොඩනැඟීමේ ක්‍රියාවලිය නිරූපණය විය. ගාන්ධි විසින් ඉදිරිපත් කරන ලද ඉහත සංකල්පීය මූලධර්ම සිහිපත් වූයේ පසුගියදා ඇති වූ සහල්, පොල්, ලුණු අර්බුදය හේතුවෙනි.
සහල් අර්බුදය යනු රටක අතිශය සංවේදී ප්‍රශ්නයකි. බලයට පත් සෑම ආණ්ඩුවක්ම සහල් අර්බුදය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපෑ බව සත්‍යයකි. වර්තමාන ආණ්ඩුවට ද එය එක සේ අදාළ ය.
කෙසේ වෙතත් වර්තමානයේ සහල් අර්බුදය උද්ගත වනවිට රජය සතුව එක් සහල් ඇටයක් හෝ තිබුණේ නැත. සහල් මාෆියාව ක්‍රියාත්මක වෙමින් පැවති අතර, පාලනය කළ නොහැකි මට්ටමට සහල් මිල ඉහළ යෑම ද සිදු විය. එබැවින් පිටරටින් සහල් ආනයනය හැර වෙන විකල්ප විසඳුමක් නොවන තත්ත්වයට පත්විය.
කෙසේ නමුත් වර්තමානය වනවිට සහල් අර්බුදය ක්‍රමයෙන් විසඳෙමින් පවතින බවක් හඳුනාගත හැකි ය. නිශ්චිත කාලසීමාවකට සහල් පිටරටින් ආනයනය කරනු ලැබුවත් දිගින් දිගටම සහල් පිටරටින් ආනයනය කරන බවක් ඉන් අදහස් නොවේ. අර්බුදය විසඳීම සඳහා ගත් කෙටිකාලීන ක්‍රියාමාර්ගයක් පමණක් හැටියට එය තේරුම්ගත යුතු ව ඇත.
“රට වට මහ සාගරයයි – එහි සම්පත් ආකරයයි – ඒ වුණත් රටින් මාළු ගේනවා – ඕයි” යනුවෙන් ජනප්‍රිය ගායක දීපාල් සිල්වා ගායනා කළේ ය. රට වට මුහුද තිබියදී මාළු පමණක් නොව, ලුණු ද පිටරටින් ගෙන්වීමට පසුගියදා සිදු විය. දේශපාලනික දෘෂ්ටිකෝණයෙන් බලන කල එය ඉතා බරපතළ තත්ත්වයකි.
හම්බන්තොට, පුත්තලම, මන්නාරම, කුච්චවේලි, එලිෆන්ට් පාස් යන ප්‍රදේශවල ලුණු ලේවා ස්ථාපිත කර ඇති අතර, ඒවායේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 2,28,000ක් පමණ වේ. ඊට අමතරව ලුණු කුඩු හා ලුණු නිෂ්පාදන ආයතන 25ක් පමණ මෙරට ක්‍රියාත්මකව පවතියි. මේ තත්ත්වය යටතේ මුහුදෙන් වට වූ ශ්‍රී ලංකාව වැනි රටක ලුණු ගැටලුවක් ඇති වීම විශ්වාස කළ නොහැක්කකි.
එහෙත් ඉකුත් වසර පුරා පැවති අධික වර්ෂාපතනය, ජලගැලීම් සහ කාලගුණ විපර්යාස හේතුවෙන් මෙකී ලුණු ලේවාවල සහ ලුණු නිෂ්පාදන ආයතනවල නිෂ්පාදන ධාරිතාව උපරිම මට්ටමට ගෙනඒමට නොහැකි වූ අතර, ඇතැම් ලේවාවල ලුණු නිෂ්පාදනය කෙරුණත් දිගින් දිගටම ඇති වූ ගංවතුර හේතුවෙන් ඒ ලුණුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතුවිය.
මෙවැනි තත්ත්වයක් මත ලුණු පරිභෝජනයෙන් වැළකී සිටින්නැයි ඉල්ලා සිටීම ප්‍රායෝගික නොවන තත්ත්වයකි. එවැනි අවස්ථාවක ක්ෂණික විසඳුමක් ලෙස ලුණු ආනයනය හැර විකල්පයක් නැත. එහි අදහස සදාකාලිකවම දිගින් දිගටම පිටරටින් ලුණු ගෙන්වනවාය යන අදහස නොවේ.
ජනතාව පීඩාවට පත් කළ ඊළඟ ගැටලුව වූයේ පොල් ප්‍රශ්නයයි. පොල් හිඟ වීම, පොල් මිල ඉහළ යෑම ජනමාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්ව තිබිණි. වර්තමාන වෙළෙඳපොළේ පොල් හිඟයක් ඇති වීමට හේතුව ඉතා මෑතකාලීන ගැටලුවක් නො ව; ඒ කාලාන්තරයක් තිස්සේ මතුවෙමින් ආ සංකීර්ණ ගැටලුවකි.
බොහෝ පළාත්වල ඉඩම් කැබලි කර විකිණීමේදී තෝරා ගනු ලැබුවේ පොල් ඉඩම් ය. විවිධ නම් යොදා ඉඩම් කැබලි කර විකිණූ ආකාරය ජනමාධ්‍ය ප්‍රවෘත්ති බැලීමෙන් තේරුම්ගත හැකි ය. ‘අහවල් උයන’ යි නම් තබා කට්ටි කර විකුණනු ලැබූයේ මහා පරිමාණ පොල් ඉඩම් ය. පොල් ගැටලුව ඇතිවීමට එය එක් හේතුවකි.
ඊට අමතරව විවිධ ආපදා උපද්‍රව, රිළා ප්‍රශ්නය යනාදිය ද පොල් ගැටලුව ඇතිවීමට හේතු වී තිබේ. දකුණු පළාතේ පොල් කොළ මැළවීමේ රෝගය නිසා 2006 වසරේදී පොල් ගස් 37,000ක් පමණ කපා දමනු ලැබී ය. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර, පොල් ගස් කපා දමා, දකුණු පළාතේ පොල් හෝ පොල් ආශ්‍රිත නිෂ්පාදන තහනම් කරමින් නීතියක් ද පැනවූ බව බොහෝ දෙනකුට අමතක ය. එවකට කෘෂිකර්ම ඇමැතිවරයා වූ චමල් රාජපක්‍ෂ මහතා සිදු කළේ කොටවිල ප්‍රදේශයේ තොවිලයක් නටා, ශාන්තිකර්මයක් කර, දේව කන්නලව්වක් කිරීම ය. එමඟින් අත්වූයේ කවර ප්‍රතිඵලයක් දැයි අපි නොදනිමු.
මෙවැනි ආහාර හා ආර්ථික අර්බුද ඇතිවීම අප රටට පමණක් ආවේණික කාරණයක් නොවේ. එය ලෝකයේ ධනවත් හා සංවර්ධිත යැයි කියන රටවලට ද පොදු ගැටලුවකි. එබැවින් සහල් ප්‍රශ්නය, ලුණු ප්‍රශ්නය හා පොල් ප්‍රශ්නය යනු සදාකාලික අර්බුද නොවේ. ඒ සඳහා ක්ෂණික සහ දීර්ඝකාලීන විසඳුම් ද පවතී.
ඉහත සඳහන් කළ ගැටලු විසඳීම සඳහා රජය විසින් ද්විමාර්ගික වූ සැලසුම් ක්‍රියාත්මකකොට ඇති බව හඳුනාගත හැකි ය. එහෙත් ගැටලුව වන්නේ ඒ පිළිබඳ සන්නිවේදනයයි. එය නිසි ලෙස පොදු ජනතාව අතරට සන්නිවේදනය වන්නේ ද යන ගැටලුවක් පවතී. ගැටලුව කල් තබා හඳුනාගැනීමත්, ඒ පිළිබඳ ජනතාවට සන්නිවේදනය කිරීමත් පොදු මහජනතාව සමඟ කරනු ලබන දේශපාලනයේදී අතිශය වැදගත් ය.
එය රජයට, දේශපාලනඥයන්ට, නිලධාරීන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, ජනමාධ්‍යයට පමණක් නොව; පොදු සමාජයේ ජනතාවට ද පැවරෙන සාමූහික වගකීමකි.