Home » මානව සම්පතෙහි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ ප්‍රමුඛතාවය

මානව සම්පතෙහි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ ප්‍රමුඛතාවය

by yasara
January 29, 2025 4:55 pm 0 comment

වර්තමානයේ මෙරට වටිනාම සම්පත මානව සම්පත බැවින් එම මානව සම්පතෙ හි  ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරීමට සහ ප්‍රවර්ධනයට රජය ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (29)  මෙම ඩිප්ලෝමා ප්‍රදානොත්සවය පැවැති අතර,  පාඨමාලා 18 ක් නියෝජනය කරමින් උසස් ජාතික ඩිප්ලෝමා සහ ජාතික ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසුන් 516 දෙනෙකු මෙහිදී  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් සහතික පත්‍ර සහ කුසලතා සම්මාන ලබාගන්නා ලදි.

එහිදී ඩිප්ලෝමා සහතිකපත්ලාභීන් ඇතුළු රැස්ව සිටි පිරිස ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය සදහා සුවිශේෂි අවධානයක් යොමු කර වර්තමාන රජය ඉදිරි සැලසුම් සකස් කරන බවත්, විශේෂයෙන්ම එම ක්ෂේත්‍ර සදහා මුදල් වෙන් කිරීමේ දී මෙරට මානව සම්පත ගුණාත්මකව වර්ධනය කිරීම සදහා සැළකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරිමට කටයුතු කරන බව ද පැවසීය.

එමෙන්ම ගුණාත්මක අධ්‍යාපනයක් මෙන්ම විධිමත් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට වර්තමාන රජය කටයුතු කරන බව ද පැවසූ අමාත්‍යවරයා එහිදී නව පර්යේෂණ සහ සංවර්ධන විය යුතු ක්ෂේත්‍ර පිළීබද විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට සැළසුම් සකස් කරමින් සිටින බව ද  සදහන් කරන ලදි. තව ද සෞඛ්‍ය සේවාවේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල  සිදු කරනු ලබන සියළුම  පර්යේෂණ සහ වැඩසටහන් ජාතික සංවර්ධන සැළැස්මට අනුගත විය යුතු බව ද අවධාරණය කරන ලදි.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සියළු ආයතනයන් හි සේවකයන් ද ඔවුන් ජාතික සැලැස්මේ කොටස්කරුවන් යන හැගීමකින්  යුතු ව තමන් නියෝජනය කරන ක්ෂේත්‍ර හරහා රට සංවර්ධනය කිරීමේ කාර්යයට දායකවීමේ අගය ද වටහා දෙන ලදි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා වර්තමාන රජය මෙරට සියළු සම්පත් එක් අරමුණක්,  එක් දැක්මකට ගොනු වූ සංවර්ධන සැලැස්මක් යටතේ මෙහෙයවීමට කටයුතු කරන බව ද පැවසීය. ඒ සදහා  ශ්‍රී ලංකා පදනම දියත් කර ඇති මානව සම්පතෙ හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වැනි ක්‍රියාදාමයන් අනාගතයේ දි බෙහෙවින් ඵලදායි වන බව ද අවධාරණය කරන ලදි.

රට ගමන් කළ යුතු නිවැරදි මගට ආලෝක ධාරාවක් එක් කරන බුද්ධිමත් පිරිසක් ලෙස අද දින ඩිප්ලෝමා සහතිකලාභීන් සළකන බව ද සදහන් කල අමාත්‍යවරයා වසර 50 ක ඉතිහාසයක් සහිත රටේ ඉදිරි ගමන් මග පෙන්නුම් කරන ශ්‍රී ලංකා පදනම් ආයතනය වැනි ආයතනයකින් එම ඩිප්ලෝමාධාරීන් බිහිවීම ආයතනයට මෙන්ම ඔවුනට ද මහත් අභිමානයක් බව ද පැවසීය. ශ්‍රී ලංකා පදනම් ආයතනය ලබාදුන් අධ්‍යාපනය තුළින් තම ජිවිත සරු කර ගන්නා ලෙස ද මෙහිදී අමාත්‍යවරයා සහතිකපත්ලාභීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනය පුද්ගල, වෘත්තීය, ආයතන හා ප්‍රජා බලගැන්වීම මෙන්ම සංවර්ධනය අරමුණ කර ගනිමින් සියළුම ජනතාව වෙත අධ්‍යාපන හා පුහුණු පාඨමාලා පවත්වනු ලබන ජාතික පුහුණු ආයතනයකි.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති එස්.එම් සමන් සමරකෝන්, ආචාර්ය මණ්ඩලය, ඩිප්ලෝමාලාභීන් සහ දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT