Thursday, April 24, 2025
Home » ක්‍රිෂ් සමාගමෙන් ලක්ෂ 700ක් ලබා ගැනීමේ චෝදනාව

ක්‍රිෂ් සමාගමෙන් ලක්ෂ 700ක් ලබා ගැනීමේ චෝදනාව

- නාමල්ට අධිචෝදනා

by sachintha
January 29, 2025 1:44 am 0 comment

පරීක්ෂණ කරන්න අවුරුදු 8ක් ගිහින්

ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගෙන සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (28දා) කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරන ලදී. රග්බී තරගාවලියක් පැවැත්වීමට බව දන්වා 2013 වසරේදී ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් ලබා ගන්නා ලද රුපියල් මිලියන 70ක මුදල ක්‍රීඩා ප්‍රවර්ධන කටයුතුවලට භාවිතා නොකර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් මෙසේ අධිචෝදනා ගොනුකර ඇත. වත්මන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් “දූෂණ විරෝධී හඬ” සංවිධානය ⁣වෙනුවෙන් පොලිස්පතිවරයා වෙත 2016 වසරේදී කළ පැමිණිල්ලක් අනුව මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනය ආරම්භ විය.

එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට දීර්ඝ කාලයක් ගතව තිබීම ගැන සමාජයේ දැඩි කතාබහක්ද පසුගිය කාලයේ ඇති විය.

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් වෙනම විමර්ශනයක් පවත්වන බව අල්ලස් කොමිසම විසින් පසුගිය 22දා කොටුව මහේස්ත්‍රාත් නිලුපුල් ලංකාපුර මෙනවිය හමුවේ දැනුම්දීමක්ද කළේය.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT