Wednesday, April 23, 2025
Home » අමුතු දොස්තරගේ අමුතු බව මතක වුණාද?

අමුතු දොස්තරගේ අමුතු බව මතක වුණාද?

by sachintha
January 29, 2025 2:04 am 0 comment

ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණු ‘අමුතු දොස්තර’ ටෙලිනාට්‍යයට ලොකු ප්‍රේක්ෂක ආකර්ශනයක් තිබුණා. කෝරලගේ සමන්ත අධ්‍යක්ෂණය කරමින් දොස්තරගේ චරිතය රඟපෑවා. නාට්‍යයේ කොටස් තිස්අටයි.

‘අමුතු දොස්තර’ ඉන්නේ කළපුව ඉස්පිරිතාලේ. හරිම නිශ්චිත පොඩි ඒරියා එකක්. මේ වගේ නිශ්චිත පොඩි ඒරියා එකක කරපු තවත් ප්‍රබලම ටෙලියක් තිබුණා. ඒ නාමල් ජයසිංහ පිටපත ලියා, ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ “අහසින් වැටුණා” ටෙලි නාට්‍යය. ඒක පෙන්වා අවසන් කළේ 2011 දී. ගාල්ල කොටුව තුළ සම්පූර්ණ කතාවම තිබුණේ. ඒක ගැන ඒ ඇති.

අමුතු වුණත් දොස්තර වැඩ කරන්නේ හොස්පිට්ල් එකේ නේ. කළපුවේ තියෙන හොස්පිටල් එක අයිති වෙලා තිබුණ්, සෞඛ්‍යයට නොවෙයි. ලොකු සර්, ඩිස්පැන්සර් මහත්තයා, සාජන් මහත්තයා, ලෝයර් මහත්තයා කියන කට්ටියටයි. දොස්තර, නර්ස් නෝනලා, ඇටෙන්ඩන්ලා, විතරක් නොවෙයි පේෂන්ට්ලා පවා අන්න අර කටිටියගේ අල්ලේ නැටවෙන රූකඩ. පනිෂ්මන්ට් ට්‍රාන්සර් ලැබුණු දොස්තර චාපා මෙතනට කඩා වැටෙනවා. චාපා දොස්තර අර කට්ටියගේ අල්ලේ නැටවෙන රූකඩයක් වෙන්නේ නැහැ. මූලිකවම ගත්තාම අල්ලේ නැටවෙන්නේ නැති නිසාම තමයි “අමුතු” කියන කෑල්ල එකතු වෙන්නේ.

ඒ විතරක් නොවෙයි මේ පොර “පිස්සු වැඩ කරන්න” පටන් ගන්නවා. පේෂන්ට්ලාට බෙහෙත් කරන්න, රැක බලා ගන්න, හොඳ කෑම ටිකක් දෙන්න, ටැප් ලයින් හදලා දෙන්න, වොෂ් රූම් හදලා දෙන්න, පේෂන්ට්ලා නාවන්න, වගේ මහා පිස්සු වැඩ ගොඩක් කරනවා. ඒකටම හරි යන්න ලේඩි ඩොකියෙකුත් සෙට් වෙනවා. නර්ස් කෙනෙකුත් එකතු වෙනවා. දැන්නම් එන තත්ත්වය ලොකු සර් ඇතුළු සෙට් එකට අම්බානකට සීරියස් වෙනවා. මේ ‘අමුතු දොස්තර’ට හොඳින් ප්ලෑන් කරලා ගේමක් දෙනවා. කතාව එච්චරයි.

ඒත් අපේ කතාව එතනින් ඉවර වෙන්නේ නෑ. පටන් ගත්තේම එතනින්. ලොකු සර්ගේ චරිතය ගන්න. මේ වගේ ලොකු සර්ලාගේ ඈතම අතීතය කොතනද? තමන්ට සිටිය දක්ෂම ශිෂ්‍යයා, හොඳම ශිෂ්‍යයා වූ අහිංසක, ම්ලේච්ඡ ඝාතකයකු කළ ගුරු පරම්පරාවේ වර්තමාන සංකේතය ලොකු සර්. ඒ ලොකු සර්ලා සමස්ත සමාජයක් වනසන්න නායකත්වය දෙනවා. ඩිස්පැන්සර් මහත්තයලා, සාජන් මහත්තයලා, ලෝයර් මහත්තයා ඇතුළු පිරිස හැදෙනවා. ඒ විතරක් නොවෙයි, සූරිය කන්දේ පාසල් දරුවන් මිහිදන් කරන දයානන්ද ලොකු ගලප්පත්ති විදුහල්පතිලා එන්නේත් මේ පරම්පරාවෙන්. මෙන්න මේ පසුබිම අමතක කරලා “ලොකු සර්ලාව” තේරුම් ගන්න බෑ.

මේ ලොකු සර්ලාගේ ගැන්සිය අමුතු දොස්තරව නැත්තටම නැති කරනවා. හේතුව වෙන්නේ දයානන්ද ලොකු ගලප්පත්තිලාගේ ඊළඟ පරම්පරාව. ඒ ඊළඟ පරම්පරාව සූරිය කන්දේ සමූහ මිනී වළවල්වල දාන්නේ නෑ. ටයර්වල මහ පාරේ පුච්චන්නෙත් නෑ. පාරේ යන වාහන ඇතුළේ ඉබේ පිච්චිලා මැරෙනවා. මේ විදිහට ඉබේ පිච්චිලා මැරෙන අය ගැන විද්‍යාත්මක පරීක්ෂණ හරියට කරන අමුතු දොස්තරලාගේ වටේ ඉන්න අයත් “ස්වභාවික” විදිහටම මැරෙනවා. දෙබස්වලින්ම කියනවා නම් “දොස්තර මහත්තයා හොඳටම දන්නවා ඔය පිච්චිලා මැරිච්ච කොල්ලාගේ මරණ සහතිකය හින්දා, හොඳට හුස්ම ගත්ත කීදෙනකුගේ මරණ සහතික ලියවුණාද කියලා” මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න කොතනකින් හරි පටන් ගන්න ඕනෑ. ඒ පටන් ගැනීම කොහොමටත් තනිවම පටන් ගැනීමක්. අනිවාර්ය පරාජයක් බව ඇත්ත. ඒත් සංවිධානාත්මක ජයග්‍රහණයන්ට පදනම වැටෙන්නේ හුදකලා අරගල තුළින්ම යි.

තව පුංචි දෙයක්. දේශපාලන සටන් පිටියේ “චෞර වළල්ල” කියලා කියනවානේ. බොහෝ දෙනෙක් හිතන්නේ ඒ චෞර වළල්ල තියෙන්නේ අපිට උඩින් කොහේ හරි කියලා. එහෙම නැත්නම් අපිට බලපාන්නේ නැති ඉහළම දේශපාලනයේ තියෙන දෙයක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ජීවිතය බේරා ගන්න සටන් කරන්න මරණ මංචකයේ වැතිරී ඉන්න හොස්පිටල් එකේ අගු පිලෙත් චෞර වළල්ල ක්‍රියාත්මක වෙනවා. ඇමති හරි මන්ත්‍රී හරි කොහොමටත් පේන්න නැති තැන්වල තමයි චෞර වළල්ල හොඳින්ම වැඩ කරන්නේ. ලොකු සර්ගේ ටීම් එක කියන්නේ අපට අපෙන් ජීවිත උදුරා ගත් චෞරයන්. අමුතු දොස්තර අපිට ඒ කතාව හරිම අමුතු විදිහකට පෙන්වා දෙනවා.

ලලිත් ප්‍රියදර්ශන දයාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT