Wednesday, April 23, 2025
Home » ප්‍රභූත්වයේ ඉස්මුරුත්තාවට කුසගින්නෙන් වන්දි ගෙවමුද?

ප්‍රභූත්වයේ ඉස්මුරුත්තාවට කුසගින්නෙන් වන්දි ගෙවමුද?

by sachintha
January 29, 2025 1:46 am 0 comment

ජීවත්වෙන සියලු මිනිසුන්ට ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ලැබීම මිනිසාගේ මූලික අයිතියක් බව එක්සත් ජාතීන් ජාත්‍යන්තරව පිළිගත් සම්මුතියකි. එම නිසා එම සම්මුතිය මත ක්‍රියාකිරීම වෙනුවෙන් ලෝකයේ රටවල ආණ්ඩු බලය හොබවන රාජ්‍යයන් විසින් උපරිමයෙන් ක්‍රියා කිරීමට බැඳී ඇත. ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද මෙම මූලික අයිතිය පිළිගෙන ක්‍රියා කරමින් ඇත.

එහෙත් මෙම මිනිස් මූලික අවශ්‍යතා ඉටුකරගැනීම වෙනුවෙන් ඇතිකර තිබෙන ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති නිසා ඒවා සම්පූර්ණ කර ගැනීමේ ක්‍රම ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉටු කර ගැනීමෙ අපහසුතාවලට රටවල් මුහුණපා සිටියි. පසුගිය අවුරුදු දෙකකට අධික කාලය තුළ ලංකාව බංකොලොත් රාජ්‍යයක් දක්වා කඩා වැටීමට පෙරත් පැවතියේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට අවශ්‍ය මූලික පහසුකම්වත් ඉටු කර ගැනීමට නොහැකි ආර්ථික මට්ටම්වල ය. ඒ බව විශේෂයෙන් ග්‍රාමීය දුප්පත්කම පිළිබඳව සංඛ්‍යාලේඛන විමසීමේදී පෙනී යයි.

1977 ජේ. ආර් ජයවර්ධනගේ යුඇන්පී ආණ්ඩුව විසින් හඳුන්වාදුන් ව්‍යවස්ථාවට අනුව ලංකාවේ එතෙක් තිබූ නාමික ජනාධිපති ක්‍රමය වෙනුවට විධායක බලතල සහිත නව ජනාධිපති ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන ලදි. ඒ අනුව දෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට එම ජනාධිපතිවරයාට තිබූ අවස්ථාවෙන් පසු විශ්‍රාම යෑම සිදුකළ යුතු ය. දෙවතාවක්ම ජනාධිපතිකම් කිරීමට අවස්ථාව ලැබූ ජනාධිපතිවරුන්ගෙන් ජේආර්, චන්ද්‍රිකා, එසේ විශ්‍රාම ගිය අතර ජේ. ආර්. දේශපාලනයෙන්ද විශ්‍රාම ගත්තේ ය. ප්‍රේමදාස ජනාධිපතිවරයා පළමු නිල කාලයේ සිටියදී ඝාතනය වූ අතර අගමැතිව සිටි ඩී.බී විජේතුංග ජනාධිපතිවරයා ලෙස පත්ව වසර දෙකක කාලසීමාවකින් පසු දේශපාලනයෙන්ද විශ්‍රාම ගොස් තම නුවර නිවසේ මිය යන තුරුම කාලය ගත කළේ ය. ජනාධිපතිවරයා විශ්‍රාම යෑ‍ෙමන් පසු ඔහුට අවශ්‍ය පහසුකම් සහිත නිවසක් මෙන්ම ආරක්ෂාවක් ලබා දිය යුතු බව විධිවිධානවල දැක්වෙයි.

මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති වී නැවත අවුරුදු පහකින් 2010 ජනාධිපතිවරණයෙන් තම ධූර කාලය දෙවෙනි වරටද ලැබීමෙන් පසු නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙමින් තෙවෙනි වරටද 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වි එයින් පරාජය විය. මින් පෙනී යන්නේ මීට පෙර කිසිදු ජනාධිපතිවරයකු නොකළ ලෙස මහින්ද කටයුතු කිරීමට සූදානම් වී සිට ඇති බවයි. යුධ ජයග්‍රහණය ඔහු ඒ සඳහා යොදාගත් තර්කයක් විය. පසු ආවර්තිතව බැලීමේදී පෙනී යන්නේ ඔහු බලය අත් හැරීමට කොතරම් නම් ගිජු කමක් දැක්වූයේද යන්නයි. අද වුවද විශ්‍රාම ලත් ජනාධිපතිවරයකුට අවශ්‍ය මූලික පහසුකම් වලට අමතරව ඔහු විසින් උපරිම පහසුකම් වෙනුවෙන් කටයුතු කිරීම දරිද්‍රතාවයේ පහළ රේඛාවේ ඇති ලංකාව වැනි රටක මොනතරම් නම් නොකටයුතු දෙයක්දැයි හැඟීයා යුතුව ඇත.

එක් අතකින් බැලූ විට රාජපක්ෂලාගේ දේශපාලන අනෙකා ලෙස ඔවුන් තෝරාගත්තේ යූඇන්පිය වුවත්, තම ජීවන විලාසිතාවේ අනෙකා කරගෙන තිබුණේ බණ්ඩාරනායකලා ය. 1950 ගණන් වලින් පසු ලෝකයේ අමෙරිකන්-රුසියන් සීතල යුද්ධය පැවති කාලවල නොබැදි ව්‍යපාර වෙනුවෙන් ජාත්‍යන්තර ලෝකයේ පිළිගැනුමට ලක්වූ බණ්ඩාරනායකලාට විශාල අනුග්‍රහයක් ලැබිණි. එලෙසම ලංකාවේ වාමාංශික ව්‍යපාරයන් සමඟ බද්ධවෙමින් කටයුතු කිරීමේ වාසියද අත්පත් කරගෙන සිටි නිසා ලෝක සමාජවාදී කඳවුරේ ගෞරවයටද, පාත්‍රවීම නිතැතින් සිදුවිය. එහි එක ප්‍රතිඵලයක් ලෙස බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව ප්‍රදානයන් ලෙස ලංකාවට හිමිවිය. තවත් බොහෝ කර්මාන්ත ශාලා ලැබීමද එහිම දිගුවක් විය. ජාතික දේශපාලනයේ ජාතිකත්ව පදනමද සැලකිල්ලට ගනිමින් ලැබූ දේශපාලන ජයග්‍රහණ මත බණ්ඩාරනායකලා තම වැඩවසම් ප්‍රභූත්වයන්ද ඉදිරියට ගෙන ලංකාවෙ සෑම තැනකටම බණ්ඩාරනායක නාමය සටහන් කිරීමේ බූදල් අයිතිය යොදා ගැනීම නිරන්තරයෙන් සිදු කරමින් සිටියේ ය. එයට අනුව බණ්ඩාරනායක පාරවල්, වටරවුම් සම්මන්ත්‍රණ ශාලා,ගුවන් තොටුපළ, වරාය ජැටි, ප්‍රතිමා, සොහොන් රට පුරාම සටහන් ලෙස තැබී ය.

බණ්ඩාරනායකලා අනුගමනය කරමින් සහ එය පරයා රාජපක්ෂලා එලෙසම තම ප්‍රභූත්වය ලංකාවේ ජනයා උකසට තබා දැවැන්ත ණය කඳු නිර්මාණය කරමින් රට බංකොලොත් කරමින්, තම ඊගෝවේ තරම ප්‍රදර්ශනය කරවීය. අවසන තම මාපියන්ගේ කෞතුකාගාර සාදා ජනතා මුදල් අව භාවිතා කරමින්ද කටයුතු කළේ තම රාජපක්ෂ නාමය බලහත්කාරයෙන් ජනතා සංකේත ලෙස තැබීමට ය.

බලය කියන්නෙ මහ පුදුම දෙයක්. එය ලැබුණු විට අත්හැරීමට නොසිතෙන බව රාජපක්ෂලා හඟවන්නේ තමන් තාමත් එම කීර්තිය, යසස මත තබා ගෙනය. විශ්‍රාමලත් ජනාධිපතිවරයාට නිල කටයුතු නැති වුවද වර්ග අඩි 3500 ක, නිවසක් කෝටි 32 ට අධික මුදලක් එහි වාර්ෂික නඩත්තුව වෙනුවෙන් අවශ්‍ය වන්නේ එම නිසාය. රජයේ ආරක්ෂක වියදම වෙනම ලෙස ගණනය කළ යුතුය. කොළඹ 7 විජේරාම ඉඩමේ සහ ගෙදර තක්සේරුව කෝටි දහස් ගාණකි. විටෙක යුද්ධය ඉවර කළ මොහු තව වරෙක කියන්නේ එල්ටීටී අනතුරක් ඇති බව ය. යුද්ධය අවසන් කළ භෞතික නායකයාව එල්ටීටී සිරකරුවන් ජීවමානව සිටි හිර ගෙදරට දේශපාලන පලිගැනීමේ මුවාවෙන් යැවූ හිටපු ජනාධිපතිවරයාට එවැනි භීතියක් අවු 16 කට පසුව දැනී ඇත. මේ සියල්ල ඔහු කරනු ඇත්තේ ඔහු විශ්‍රාමයට පෙර තබාගෙන පවත්වාගෙන ගිය මහේශාක්‍ය ලීලාවත්, ප්‍රභූත්වයත් අඛණ්ඩව නඩත්තු කිරීම පිණිස පමණක්ම ය.

සෑම පෝයකටම බණ ඇසීම ප්‍රදර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කිරීම ඔහුගේ ධූර කාලයේදී අනිවාර්ය අංගයක් වී තිබුණි. අත්හැරීම ගැන එහිදී එකම බණ පදයක්වත් ඇසී නැති බවත්, හුදෙක් ඔහු ස්ටිකර් බෞද්ධයකු බව ඇඟවීමට කළ දෙයක් බවත්, අපට වැටහෙන්නේ විශ්‍රාම යෑමෙන් පසු නැවත මන්ත්‍රී ධූරයක් සඳහා කුරුණෑගලින් තරග කොට පාර්ලිමේන්තුවට ඒමෙනි. යළි ඇමතිවී, යළි අගැමැති වී 2022 දී ජනතාව විසින් එළවා දමා 2024දී මැතිවරණයෙන් කුජීතව පරාජය කළද, ජනතාව මහත් පීඩාවන් විඳිමින් සිටියදී වුවද, තමාගේ සුවපහසු ඉස්මුරුත්තාව වෙනුවෙන් රාජපක්ෂ ප්‍රභූත්වයේ නඩත්තුව වෙනුවෙන් කටයුතු කිරීම කොතෙක් නම් සාපරාධී ද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත.

කළ්‍යා පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT