පාන්දරින් රත්නපුර බලා පිටත් වූ මිත්‍රයින් දෙදෙනා ඉර හැරුණු පසු බොහෝ විඩා බරව පෙරළා පැමිණ තිබුණි. ඔවුන් රත්නපුර අධිකරණය වෙත ගොස් තිබුණේ දඩමුදලක් ගෙවීමට ය. වරද ‘ඉර කැපීම‘ බව මිතුරා කීය.
දඩය ලෙස රුපියල් දස දහසක් ගෙවු බවත්, වාහනයට ගැසූ පෙට්‍රල් කෑම වියදම් නීතිඥ ගාස්තු ඇතුළුව එදින වියදම රුපියල් 20000ක් පමණ වූ බවත් ඔහු පැවසී ය. සම්පූර්ණ දවසක් ඒ වෙනුවෙන් රස්තියාදු වීමට සිදුවීම විශාල අපරාධයකි. සිද්ධිය සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම වෙනුවට දඩයක් නොගැසීම පිළිබඳ ඔහු සිටියේ බොහෝ සෙයින් අසතුටෙනි. එහි සත්‍යයක් ද ඇත.
සිදුවීම පිළිබඳ මිතුරු පොලිස් පරික්ෂකවරයකු හා කතා කිරීමේ දී ඔහු ප්‍රකාශ කළේ ‘ඉර කැපීමට’ දඩයක් ගැසිය හැකි බවත්, ඒ සමඟ අපරික්ෂාකාරි රිය පැදවීම යන චෝදනාව ද පැවතියේ නම් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් ය. කෙසේ නමුත් අවසාන අරමුණ පරික්ෂාකාරි රියදුරෙකු ගොඩනැංවීම බවත් ඔහු කීවේ ය.
බස්රථ ඉදිරියේ වැඩ වාසය කරන දේව මණ්ඩලය, මල් වැල් ද ඇතුළු අංගෝපාංග මේ දිනවල ඉවත් කරමින් සිටියි. මෝටර් රථ වාහන පනත අනුව අදාළ සමාගමේ නව කොටස් යොදා එකලස් කිරීම වෙනුවට වෙනත් අයුරකින් ඇතුළත් කොට ඇති උපාංග ඉවත්කිරීම පිළිබඳවද, පොලිස් මිතුරා පැවසී ය. මෝටර් රථ නිර්මාණය කරනු ලබන්නේ අනතුරක දී එහි ගමන් කරන්නන් හට සිදුවන හානිය අවම වන අයුරිනි. නව උපාංග සවි කිරීමේ දි මග හැරෙන්නේ එම තත්ත්වය ය. එවැනි අමතර උපාංග ඉවත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇත්තේ 2009 අංක 08 දරන සංශෝධිත මෝටර් වාහන පනතිනි. මසකට 8ක 9ක් ව පැවති මාරක රිය අනතුරු ප්‍රමාණය මෙම ක්‍රියාවලියත් සමග 2 දක්වා අඩු වී ඇති බවත්, මේ සියලු තීරණයන්හි අවසාන අරමුණ අනතුරු අවම කොට මහජන ආරක්ෂාව සහතික කිරීම බවත් ඔහු කීවේ ය. නීතිය තුළින් ආයාසයෙන් මිනිසා යහපත් කිරීම වෙනුවට හෘදය සාක්ෂිය විසින් ඔහු වෙනස් කිරීම සිදුකරගන්නේ නම් අප ප්‍රාර්ථනීය යහපත් සමාජය බිහිවෙනු ඇත.
ඉතුරු රුපියලේ කාසිය නො දෙන කොන්දොස්තර තැන අතර මග ඇති බෝධිය ළඟින් බැස පිං පෙට්ටියට කාසි දමා දොහොත් මුදුන් දී වැඳ වැටෙයි. ‘ෂෝට් ලීව්’ වෙනුවට ‘ෂේප් ලීව්’ ගෙන තමන්ගෙ පෞද්ගලික වැඩ ටික ඉටු කරගන්නා සමහර රජයේ සේවකයින් ඉඩක් ලැබුණොත් කන්තෝරුවේ වැඩ ටිකක් ද කරයි. රජයට බදු මුදල් ගෙවනවාට වඩා නිලධාරියකුගේ සාක්කුවට බද්දෙන් අඩක් දමා, බද්ද නොගෙවා ෂේප් වීම දෙදෙනාගේ ම සාක්කුවලට සුවදායි බව මිතුරෙක් කීවේ ය. බොරු කොට අතිකාල ලබා ගන්නා රාජ්‍ය නිලධාරින් කොතෙකුත් ඇත.
“දෙකේ පන්තියේ ළමයින්ට මොන ටියුෂන්දැයි” ඇසූ කල මිතුරියක කීවේ “ අනෙක් ළමයි පන්තියෙ ටීචර් ළඟට ටියුෂන් යද්දි එහෙම නො කළොත් අසාධාරණය වෙන්නේ දරුවාට ” කියා ය. පෞද්ගලික පන්ති පැවැත්වීමට විරෝධය නො පාන වෘත්තීය සමිති අධ්‍යාපනය විකුණනවාට බරපතළ ලෙස විරෝධය පායි.
පළාත් පාලන ආයතනයේ ටෙක්නිකල් ඔෆිසරට සන්තෝසමක් නො දී නිවාස සැලැස්මක් අනුමත කොට ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි. විගණනයට එන විගණන නිලධාරිහු ලිපිගොනු කිහිපයක් පෙරළා බලා 4.15ට පෙර කන්තෝරුවෙන් පිටව යති. සේවා ස්ථානයට කිට්ටුව සිටිය ද රජයේ නිල නිවාසවලට හිමිකම් කියන රජයේ ඉහළ නිලධාරිහු වෙති. අලුතින් නිල නිවසට යන්නවුන් පැරැන්නා පරිහරණය කළ ගෘහභාණ්ඩ වෙනුවට අලුතින් බඩු මුට්ටු මිලට ගන්නේ රජයේ වියදමිනි.
“යර්ස් සර්” යැයි කියමින් දේශපාලකයන්ගේ ඕනෑම කියමනක් හා එකඟවන, ප්‍රාදේශීය දේශපාලකයන්ට වුව දෙකට නැමෙන ආයතන ප්‍රධානියෝ රජයේ කන්තතෝරුවල විරල නොවෙති.
රජයේ රෝහලට ගිය කල්හි ප්‍රිය වචනයක් තබා සිනහවක්වත් නැතුව ලෙඩ බලන වෙදැදුරෝ පෞද්ගලික රෝහලට ගිය කල්හි සුන්දර සිනහවෙන් යුතුව රෝග නිදානය සොයති.
විධායකය සහ ව්‍යවස්ථාදායකය වෙනස්වූ පමණින් අප ප්‍රාර්ථනා කළ සමාජය බිහිවන්නේ නැත. සමස්ත ක්‍රමය වෙනස් කොට හෘදය සාක්ෂිය සහිත පුරවැසියා බිහිවූ දිනෙක වඩා ශිෂ්ට සම්පන්න සමාජය බිහිවනු ඇත.
හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ