මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙනයාම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී විශාල ප්‍රමාණයක් මුහුදට ගලා බසින අතර අනුරාධපුරයට හා වයඹට යන ඇල මාර්ග ඉදිකිරීම තුළින් ජලය අපතේ යාම මෙන්ම මෙය සාර්ථක කරගත හැකි බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
වයඹ පලාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීම සඳහා මොරගහකන්ද ජලාශයේ ජලය යොදාගත හැකි බැවින් අදාළ ඇල මාර්ග පද්ධතිය කඩිනමින් ඉදිකරන ලෙස ඉල්ලා සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල විනාශවන ආකාරයට අධික වර්ෂාව හේතුවෙන් පොදු මහජනතාවට විශාල පීඩාවක් සහ අලාභ හානි සිදුවී ඇති බවත් මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශ වලින් එකතුවන ජලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ සහ මිනිපේ ජලාශයට පමණක් ගලායාම බවත් ඒ මහතා පවසයි.
එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
2019 වර්ෂය වන විට මා විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්දෙන් යන ජලයට කි.මී. 15 ක් 20 ක් පමණ ඇලමාර්ග ඉදිවෙමින් පැවැතුනි. එහෙත් 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරිම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක වුයේ නැත. එම කටයුතු සම්පුර්ණයෙන්ම ඇනහිට තිබුණි. 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය වනවිට එම වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇලමාර්ග කපා තිබුනේනම් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත.
මේ පිළිබඳව වර්තමාන රජයේ අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පලාතට ජලය ගෙනයන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත. දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහමුහුදට විශාල ජලප්‍රමාණයක් ගලාබසියි. වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිකිරීමට කටයුතු කරන ලෙසට වර්තමාන රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්වර්ණා විජේකෝන්