දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිදුව තිබෙන මහා පරිමාණ ඔන්ලයින් ටිකට්පත් වංචාවට එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සබඳතාවයක් තිබේද යන්න පිළිබඳ සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෙත අද(28) දැන්වීය.
එම නඩුව ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරිය වෙත ඒ බව දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙකුගේ බැංකු වාර්තා සහ දුරකථන වාර්තා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වුහ.
සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වුහ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ටෙලිකොම් ආයතන සමග එක්ව පවත්වාගෙන යනු ලබන ඔන්ලයින් ආසන වෙන් කිරීමේ ක්‍රියාවලියේදී දුම්රිය ටිකට් පත් ක්ෂණිකව ලබාගෙන විදේශීය ජාතිකයන් වෙත වැඩි මුදලකට විකිණීමේ සිද්ධියකට අදාළව මේ වනවිට සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද විමර්ශන නිලධාරීනහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.
මුල් අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව ඉකුත් 26 වැනිදා අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ඊයේ(27) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුද ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ තිබුණි.
මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයන් මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය කෙරෙන ඕඩීසී දුම්රියට අදාළ ඹන්ලයින් ටිකට්පත් වංචනික ලෙස ලබාගෙන වැඩි මුදලකට විදේශිකයන්ට විකුණා ඇති බවත් මොවුන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස සිටමින් මෙම ජාවාරම සිදු කර ඇති බවද විමර්ශන නිලධාරීහු දැක්වූ කරුණුවලින් අනාවරණය වීය.
දුම්රිය දෙපාර්තමේන්තුව කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇත්තේ ප්‍රදීප් කාරියවසම්, චමින්ද කුමාර, තිළිණ ලක්මාල් සහ මදුක අෂාන් යන සැකකරුවන් සිව් දෙනෙකි.
කල්පනි අබේසිංහ