Home » විදුලි රැහැන් අදිමින් සිටි සේවකයෝ තිදෙනෙක් ලයිට් කණුවක් කඩාවැටී තුවාල ලබා රෝහලේ

විදුලි රැහැන් අදිමින් සිටි සේවකයෝ තිදෙනෙක් ලයිට් කණුවක් කඩාවැටී තුවාල ලබා රෝහලේ

by sachintha
January 27, 2025 1:16 am 0 comment

සෙවණගල පොලිස් වසමට අයත් සෙවණගල ස්වර්ණ ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ විදුලි කණුවකට නැඟ නව විදුලි රැහැන් පද්ධතියක් ඇද විදුලි රැහැන් අලුත්වැඩියාවට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් තිදෙනකු රැහැන් තද කරමින් සිටියදී පෙරේදා (25) විදුලි කණුව කඩා වැටී බරපතළ තුවාල ලබා ඇතැයි සෙවණගල පොලීසිය පවසයි.

මෙම සේවකයින් තිදෙනා විදුලි කණුවට නැඟ රැහැන් අදිමින් සිටියදී එකවරම විදුලි කණුව කැඩී ඔවුන් තිදෙනා සමඟ බිමට වැටී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ සේවකයින් තිදෙනා සෙවණගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එක් තුවාලකරුවකු ඇඹිලිපිටිය රෝහලෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. මෙලෙස තුවාල ලබා ඇත්තේ අටකලන්පන්න පදිංචි දෙමටහැත්තගේ සමන්ත පුෂ්පකුමාර (44), බොලඳගල මාරපන පදිංචි පල්ලදොරුතෝල්ක මුදලිගේ ජනක ප්‍රියන්ත (44) සහ බටතොට කුරුවිට පදිංචි සූරියආරච්චිගේ අජිත් කුමාර (30) යන තිදෙනායි.

සබරගමුව පළාත් සභාවට අයත් ඇඹිලිපිටිය විදුලි ඉංජිනේරු කාර්යාලය මඟින් මෙම ප්‍රදේශයේ විදුලිය නඩත්තු කටයුතු කරගෙන යනු ලබන අතර සෙවණගල ප්‍රදේශයේ තෙකලා විදුලි රැහැන් පද්ධතිය ඉතා කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවය මත රත්නපුර, කුරුවිට, බලවින්න ආදී ප්‍රදේශවල සේවය කරනු ලබන සේවකයින් පිරිසක් කැඳවා පෙරේදා (25) උදෑසන මෙම අලුත්වැඩියාව කරමින් සිටියදී පස්වරු 3.00ට පමණ සෙවණගල ස්වර්ණ ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය අසල පිහිටි විදුලි කණුවක් මතට නැඟ විදුලි රැහැන් ඇද ඒවා තද කරමින් සිටියදී විදුලි කණුව කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කඩා වැටුණු විදුලි කණුව සකස් කිරීමේදී නිසි පරිදි විදුලි කණුව තුළට කම්බි යොදා නොතිබීම අනතුරට හේතුව බවයි.

පොලීසිය පවසන්නේ විධිමත් පරීක්ෂණයකින් තොරව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

 

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

රත්නපුර – ලසන්ත නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT