මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේදී පසුගියදා (25) සිදු වූ මාරක අනතුරකින් තුවාල ලැබූ සිවුදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ රොමේෂා නිලන්ති නමැති 49 හැවිරිදි කාන්තාවකි. පොලීසිය පවසන්නේ මෙම කාන්තාව කරිකට්ටිය ප්‍රදේශයේ 25 දින අලුයම පැවැති කිරි දානයකට සහභාගී වී එය සංවිධානය කළ නිවෙස් හිමි තැනැත්තා සමඟ යතුරුපැදියක නැඟී ඇගේ නිවෙසට ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මාළු ප්‍රවාහන කැබ් රථයක් මොවුන් ගමන් කළ යතුරුපැදිය යට කරමින් ගමන් කර ඇති බවයි. එම අනතුරින් බරපතළ තුවාල ලබා සිටි සිවු දරු මව හා ඇය රැගෙන යමින් සිටි තැනැත්තා ද පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණද ඒ වන විටත් මෙම කාන්තාව මරණයට පත්ව සිටි බව වාර්තා වේ.
පසුපසින් පැමිණි කැබ් රථය මෙම කාන්තාව ගමන් කළ යතුරුපැදියේ ගැටීමත් සමඟ කාන්තාව විසිවී ගොස් මාර්ගයට වැටී ඇති බවත්, ඒ සමඟම නැවතත් එම කැබ් රථයටම දෙවැනි වරටත් යටවී අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇති බවත් පොලීසිය පැවසීය. කැබ් රථ රියැදුරාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම මාරක අනතුර සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් රියැදුරු අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ, වනාතවිල්ලුව සමූහ – කේ. ප්‍රියංකර කළුපහන