පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල ලැබීමට පෙර එනම් මීට මාස එකහමාරකට පෙරදී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති දරුවකු ලකුණු 159ක් ලබා ගෙන විභාගය විශිෂ්ට ලෙස සමත් වී ඇත.
බළන්ගොඩ වලේබොඩ, වතුකාරකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් සඳරුවන් නමැති මේ දරුවා තෝරවෙලකන්ද විදුහලේ ඉගෙනුම ලැබූ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් පාසලේ සමත් වී ඇති එකම දරුවා වීම විශේෂත්වයකි.
මේ අනුවේදනීය සිද්ධිය සම්බන්ධයෙන් මව වන කේ.ඩී. කුසුමා පොඩිමැණිකේ මහත්මිය හැඬූ කඳුළින් මෙසේ පැවසුවාය. මගේ දරුවා මේ පාර ශිෂ්‍යත්ව විභාගය ලියලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියා. එයා බළන්ගොඩ තෝරවෙලකන්ද විදුහලේ තමයි ඉගන ගත්තේ. ශිෂ්‍යත්ව විභාගය ලියලා ඇවිත් අපි එක්ක කීවා මට ලකුණු එකසිය හැටකට ආසන්න ප්‍රමාණයක් ඇති කියලා. ඒත් ප්‍රතිඵල එන්න මාස එකහමාරකට කලින් එයාට එකපාරටම ඇති වූ රෝගයක් හේතුවෙන් එයා අපව දාලා ගියා. අද ප්‍රතිඵල බලනවිට එයාට ලකුණු 159 ක් ලැබී තියෙනවා. පාසලෙන් මගේ දරුවා විතරයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා තියෙන්නේ.ඉතින් අපට මේ ප්‍රතිඵලය ගැන සතුටු වෙන්න බැහැ. අපේ දරුවා නැති නිසා මේ ගැන අපට ගොඩාක් දුකයි” යැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.
බළන්ගොඩ සම්පත් ප්‍රියනන්දන