ලකුණු 187ක් ගෙන දෙවැනි ස්ථානය හිමිකරගත් හක්මණ බුද්ධ ජයන්ති ප්‍රාථමිකයේ සදිව් සස්මින් කියයි
“ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනියන් අතරට මාතරිනුත් පුතෙක්”
පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම කුසලතා පෙන් වූ සිසුවියන් 18 දෙනා අතුරින් ලකුණු 187ක් ලබා ගනිමින් දෙවන ස්ථාන හිමිකරගත් සිසු සිසුවියන් පිරිසට හක්මණ බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහලේ සදිව් සස්මින් විතාරණගමගේ සිසුවා ද එක්ව සිටී.
සදිව් සස්මින් පාසලේදී කළ ඉගෙනුම් ක්‍රියාවලියට අමතරව උපකාරක පන්තිවලට සහභාගි වී ඇති අතර විෂය බාහිර ක්‍රියාකාරම්වලදී ද පාසලේ කැපී පෙනෙන සිසුවෙකි.
“මම ශිෂ්‍යත්වය ලොකු බරක් කර ගත්තේ නැහැ. එදිනෙදා කරන පාඩම් සියල්ල නැවත අධ්‍යයනය කළා. මට මේ තැනට එන්න උදවු උපකාර කළ කෝංගල ප්‍රාථමිකයේ විදුහල්පති සහ ගුරු මහත්ම මහත්මීන්ටත්, හක්මණ බුද්ධ ජයන්ති විද්‍යාලයේ විදුහල්පති දේවිකා ගුරුගේ මහත්මිය සහ ඩී. ඒ. සංජිව පුෂ්පකුමාර ගුරුතුමා ඇතුළු ගුරු මහත්ම මහත්මින්ටත් ස්තුති කරන බව සදිව් සස්මින් පැවසීය.
පහසුකම් අඩු ග්‍රාමීය පාසලකින් නගරයේ පාසල් ද අබිබවමින් ලකුණු හිමිකර ගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සස්මින් තමන් ඉගෙන ගත් පාසලට, අකුරු කළ ගුරු භවතුන්ට මෙන්ම මවුපියන්ට ද අත්කර දී ඇත්තේ ඉහළ ගෞරවයකි.
“හොඳ පාසලකට යන්න මම කැමතියි. ගුවන් නියමුවෙක් වීම මගේ අනාගත බලාපොරොත්තුව වෙනවා” සදිව් සස්මින් සතුටින් පැවසීය.
හක්මණ පුෂ්පාරාම මාවත ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් කම්හලක මානව සම්පත් කළමනාකරුවකු වන හිමාල් ඉන්දික විතාරණගමගේ මහතා හා හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක වන වජිරානි ලංකා මහත්මිය සදිව් සස්මින්ගේ මවුපියන්ය. එකම සොයුරිය වන ජනිත්‍රි වරංගනා මාතර සුජාතා විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇය ද 2018 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් මුලටියන කලාපයේ පළමුවැනියා ලෙස ඉහළම කුසලතා හිමි කරගෙන සුජාතා විද්‍යාලයට ඇතුළත්වීමේ වරම් හිමිකර ගෙන ඇත.
ගන්දර සමූහ
ජයසිරි පේදුරුආරච්චි