Home » අනුර ප්‍රියදර්ශනගේ නඩුවට ඇල්ලූ ඛනිජ තෙල් කළමනාකරුටත් ඇප

අනුර ප්‍රියදර්ශනගේ නඩුවට ඇල්ලූ ඛනිජ තෙල් කළමනාකරුටත් ඇප

by sachintha
January 27, 2025 12:25 am 0 comment

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරාජ මහත්මිය පෙරේදා (25) නියෝග කළාය.

එම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයෙන් නියම විය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු අලෙවි කළමනාකාරවරයකු වන චමින්ද සමරකෝන් නමැත්තාට එසේ ඇප නියම විය.

2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවල ගංවතුරින් පීඩාවට පත්වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් මිලියන 6.1ක අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා ඇප මත මුදා හැරුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින අධිකරණයට දැන්වූ අතර ඒ අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඉකුත් 24 දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් මෙම සැකකරුවන් සියලු දෙනා පොදු දේපළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු එසේ ඇප මත මුදා හරින ලෙසට නියම කළාය.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT