Home » ලංකා – ජර්මානු කාර්මික ආයතනයට නවක සිසුහු බඳවා ගැනෙති

ලංකා – ජර්මානු කාර්මික ආයතනයට නවක සිසුහු බඳවා ගැනෙති

by sachintha
January 27, 2025 1:23 am 0 comment

මෙරට ප්‍රධානතම කාර්මික ආයතනයක් වන මොරටුව ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට (Ceylon German Technical Training Institute) නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය පසුගියදා (23) වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනය පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ ආයතනයට 2025 වසර සඳහා නවක සිසුන් 650ක කණ්ඩායමක් බඳවා ගැණිනි. විෂය ක්ෂේත්‍ර 10ක් සඳහා මේ පිරිස බඳවා ගත් අතර පාඨමාලා වසර 3, 3½ සහ 4 දක්වා කාල සීමා යටතේ පැවැත්වේ. පාඨමාලා අවසානයේ පැවැත්වෙන අවසාන වෘත්තීය පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමෙන් පසු ආයතනයෙන් පිරිනමන සහතිකයෙන් ද, NVQ 05 මට්ටමේ ජාතික ඩිප්ලෝමාවකින් හා ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මඟින් පිරිනැමෙන වෘත්තීය නිපුණතා (Skill Craftsman) සහතිකයෙන් ද පිදුම් ලැබීමට මේ පිරිසට අවස්ථාව හිමි වන බව ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ, විදුහල්පති, විශ්‍රාමික මේජර් ජනරාල් ඉංජිනේරු පී. එස්. කල්ප සංජීව මහතා පැවසීය.

මේ ආධුනික පිරිස භාෂා දැනුම වැඩි දියුණු කිරීම සඳහා විශේෂ පහසුකම් සහිත භාෂා මධ්‍යස්ථානයක් (Language Center) නියෝජ්‍ය ඇමැතිවරයාගේ අතින් මෙහිදී විවෘත කෙරුණු අතර, මෙහිදී සංකේතාත්මකව සිසුහු බඳවා ගැනීමේ ලිපි ද පිරිනැමූහ. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මේ ආයතනයෙන්ම බිහි වූ බල විදුලි අංශයේ තෙවන වසරේ ඉගෙනුම ලබන ෂෙහාන් ෆොන්සේකා සිසුවා ජර්මානු කාර්මික විද්‍යාලයේ ලාංඡනය සහිතව නිර්මාණය කරන ලද අත් ඔරලෝසුවක් නියෝජ්‍ය ඇමැතිවරයාට පිළිගැන්වීය.

මේ අවස්ථාවට ආයතන පාලක මණ්ඩලයේ සභාපති ආචාර්ය නන්දික කේ. හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් එක් වූහ.

 

දුලක්ෂි උඩගෙදර

ඡායාරූපය – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT