Home » පොලිස් නිලධාරීන් බහුතරයක් මානසික ආතතියෙන් අකාලයේ මිය යනවා

පොලිස් නිලධාරීන් බහුතරයක් මානසික ආතතියෙන් අකාලයේ මිය යනවා

-රත්නපුර දිසාවභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස

by sachintha
January 27, 2025 1:22 am 0 comment

රාජකාරි බහුල වීම නිසා ඇති වන මානසික ආතතිය, ව්‍යායාම නොමැතිකම, වැරදි ආහාර පුරුදු සහ මත්පැන් භාවිතය නිසා පොලිස් නිලධාරීන් අකාලයේ මිය යන බව රත්නපුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා පැවැසීය.

ඒ මහතා මේ පැවැසුවේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ උපදේශන සභාව සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුම්වත් කිරීමට ඉකුත්දා (24) රක්වාන පොලිස් ස්ථානයේ පැවැති රැස්වීමක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ ආකාරයට පොලිස් නිලධාරීන් අකාලයේ මිය යෑම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ වන විට නිලධාරීන් 22,000ක පමණ හිඟයක් තිබෙනවා. පොලිස් නිලධාරීන්ට හදිසියේ ඇති වන මෙවැනි රෝගාබාධ පාලනය කිරීමට දිනපතා ශාරීරික ව්‍යායාම සිදු කරන ලෙස දන්වා විශේෂ චක්‍රලේඛයක් පවා නිකුත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කළා. රජයේ අනෙකුත් සේවා පැය අටකට සීමා කළත් පොලිස් සේවයේ නියුතු සමහර නිලධාරීන් පැය විසිහතරේම රාජකාරියෙ නිරත වෙනවා. මේ තත්ත්වය හේතුවෙන් සෑම පොලිස් ස්ථානයකම දැඩි නිලධාරී හිඟයක් පවතිනවා. ප්‍රදේශයේ නීතිය සහ සාමය පවත්වාගෙන යෑමට ප්‍රජා පොලිස් ඒකකවල සාමාජිකයන් සහ උපදේශන සභාවල සිටින නිලධාරීන් ප්‍රදේශයේ පොලිස් ස්ථානයට අවශ්‍ය සහයෝගය දෙනවා.”

මෙහිදී ප්‍රජා පොලිස් ඒකකවල සාමාජිකයන් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ අනන්‍යතා හැඳුනුම්පත් පිරිනැමීම සිදු කෙරිණි. මේ අවස්ථාවට රක්වාන උභයතිලකාරාමයේ විහාරාධිපති පුස්සැල්ලේ පඤ්ඤාතිලක නාහිමි, රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සෝමසිරි, පොලිස් පරීක්ෂක එස්. අයි. එගොඩ ආරච්චි, චන්ද්‍රසිරි සහ ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ නිලධාරී කමල් රාමනායක මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

රක්වාන – ඉන්දික සී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT