ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුමට අනුව හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා සිටි ඊශ්‍රායල හමුදාවේ සෙබළියන් සිවුදෙනකු දින 477කට පසු නිදහස් කර ඇතැයි ද, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයේ සිරගත කර සිටි පලස්තීන ජාතිකයන් 200 දෙනකු නිදහස් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් අතර ඒ සඳහා ලිපිලේඛනවලට අත්සන් තබා ඇති අතර, අවුරුදු 19 හා 20 වයස් කාණ්ඩයේ පසුවන එම හමුදා සෙබළියන් සිවුදෙනා පසුව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් ඔවුන් ඊශ්‍රායල රජය වෙත භාර කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
නිදහස ලැබූ හමුදා සෙබළියන් සිවුදෙනා දැකබලා ගැනීමට ඊශ්‍රායලයේ ටෙල් අවීවී නුවරට විශාල ජනකායක් රැස්ව සිටි බවත්, ඔවුන් ප්‍රීතිඝෝෂා නඟමින් ඔවුන් පිළිගත් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එදිනම පස්වරුවේ නිදහස ලැබූ පලස්තීන සිරකරුවන් ඊශ්‍රායලයේ සිට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් සමඟ බස් රථ මඟින් ගාසා තීරයට ළඟා වූ බව වාර්තා වේ. දෙපාර්ශ්වය අතර සටන් විරාම ගිවිසුමට අනුව ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් නිදහස් කිරීමේ මීළඟ අදියර ලබන පෙබරවාරි මස 1 වැනිදා සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.