Wednesday, April 9, 2025
Home » සහතික මිලට වැඩියෙන් සහල් විකුණන්න දෙන්නේ නෑ
ජනපති අනුර ගමට යයි ගැටලු-අර්බුද විසඳුම් කතා කරයි

සහතික මිලට වැඩියෙන් සහල් විකුණන්න දෙන්නේ නෑ

අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා

by sachintha
January 27, 2025 1:10 am 0 comment

අතරමඟ නතර වුණු ව්‍යාපෘති ඉක්මනින්ම ජනපති අනුරපුර-කැකිරාව-තඹුත්තේගම ජනහමුවලදී කියයි

රජය විසින් පනවන ලද සහතික මිලට වඩා වැඩිමිලට එක සහල් ඇටයක් හෝ විකිණීමට ඉඩ නොතබන බවත් ඉතාමත් කෙටි කලකින් සහල් ගැටලුව අවසන් කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ අනුරාධපුර, කැකිරාව, තඹුත්තේගම ප්‍රදේශවල පැවැති ජන හමු කිහිපයක් අමතමිනි.

වර්තමානයේ පොදු ජනතාවට උද්ගතව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබඳ සැබෑ තත්ත්වය සහ ඒවාට ඇති විසඳුම් පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහි දී අවධානය යොමු කළේය.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වී තවම ගතවී ඇත්තේ මාස දෙකක කාලයක් බවත් එම කාලය තුළ පියවරෙන් පියවර සංවර්ධනය ඉදිරි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කෙළේය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර විවිධ අභූත චෝදනා සහ බිල්ලන් මැවූ බවත් ඒ සියල්ල ව්‍යාජයක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

කුඩා ඇමැති මණ්ඩලයක් සහ නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් පත් කොට ඔවුන්ගේ වියදම් හා වරප්‍රසාද අවම කර ඇති බවත් ජපානය, චීනය සහ ඉන්දියාව යන රටවල සහාය ලබාගෙන රට සංවර්ධනයේ දිශාවට රැගෙන යන බව ද ජනපතිවරයා අවධාරණය කළේය.

ඉන්දීය සහ චීන සංචාරවලින් මෙතෙක් තිබූ ණය, ආධාර බවට පත්කර ගැනීමට ද, අත්හිටුවා තිබූ විදෙස් ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කිරීමට හැකියාව ලැබූ බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය හා පාතාලය ඉතා ඉක්මනින් මැඬ පවත්වන බව ද ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කොට නීති පද්ධතිය ශක්තිමත් කර ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම ජනහමු සඳහා අති විශාල ජනතාවක් සම්බන්ධ වී සිටි අතර ජනපතිවරයා රැස්වසිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT