තව අවුරුදු කීපයකින් හෝ දෙමාපියන්ට තම දරුවන් අවුරුදු 15 වෙනකොටවත් අසල්වැසි මාලදිවයිනට හෝ ඉන්දියාවට ගුවන් මගින් යෑමට හැකි ආර්ථිකයක් සකස් කළ යුතු බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
වරාය , ගුවන් සේවා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේ ඊයේ(25) පස්වරුවේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවට පැමිණි අවස්ථාවේ දීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට එන සහ ගුවන් යානා, ගුවන් තොටුපොළ , ගුවන් නියමුවන්ගේ ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කරන බවත් පසුගිය වසර තුළ විදේශීය ගුවන් සේවා ආයතන ගණනාවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර ඇති බවට තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් ය.
එසේම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා තුනකට අවශ්‍ය එංජින් නොමැති නිසා , එම ගුවන් යානා ගුවන් ගත කිරීමට නොහැකිව , බිම තබා ගෙන පසුගිය වසර තුනක කාළය තුළ මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ නවය බැගින් කල් බදු ගෙවා ඇති බව ද , ඒවා පසුගිය රජය ශ්‍රී ලන්කන් විනාශ කර , වසා දැමීම සදහා ගෙන තිබූ පියවර බව ද පැවසීය .
එහෙත් වත්මන් රජය පත් කළ නව සභාපතිවරයා මේ වනවිට මෙම ගුවන් යානා අතරින් එක් ගුවන් යානයක එංජින් ගෙන්වා ගෙන ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර , ඉතිරි ගුවන් යානා දෙකත් නව එංජින් සවි කර එළඹෙන අප්‍රියෙල් මාසය වනවිට ගුවන් සේවා සදහා එක් කිරීමට සූදානම් කරමින් පවතින බව ද අනාවරණය කළේය .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා ඇතුළු එහි උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ .
කටුනායක ටී.කේ.ජී.කපිල