Home » මෙරට මුහුදු සීමාව කැඩූ ඉන්දීය ධීවරයින් 33ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව කැඩූ ඉන්දීය ධීවරයින් 33ක් අත්අඩංගුවට

by chanaka
January 26, 2025 4:21 pm 0 comment

මන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් සමඟ ඉන්දීය ධීවරයින් තිස් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, ඊයේ (25) රාත්‍රී කාලයේ සහ අද අළුයම මෙම විශේෂ මෙහෙයුම සිදු කර තිබුණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2025 ජනවාරි මස 25 වැනි දින රාත්‍රි කාලයේ සහ අද (2025 ජනවාරි 26) අළුයම තලෛමන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු නාවික විධානයට හා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, තව දුරටත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් තිස් තුන් දෙනෙකු (33) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා තුන සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිස්තුන් දෙනා ඉරණතිව් දූපත වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT