Wednesday, April 23, 2025
Home » තෙල් සංස්ථා සභාපතිගෙන් ආදර්ශයක් – BMW රථය විකුණා සේවකයන්ට සැප බස් දෙකක්

තෙල් සංස්ථා සභාපතිගෙන් ආදර්ශයක් – BMW රථය විකුණා සේවකයන්ට සැප බස් දෙකක්

by chanaka
January 26, 2025 11:29 am 0 comment

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා තමන්ට හිමි අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය, භාවිතයට නොගෙන එය විකුණා ඉන් ලැබෙන මුදලින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබේ.

එයට හේතුව මේ මෝටර් රථය ඉන්ධන භාවිතය අතින් අවම කාර්යක්ෂමතාවක් සැපයීමය. අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්)ය. මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 04ක් පමණි. මේ වනවිට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් (රු. 6,770,349) වැය කර තිබේ. එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතු බවද පැවසේ.

මෙම රථයේ වර්තමාන වටිනාකම වන්නේ රුපියල් මිලියන 52ක් හෙවත් ලක්ෂ 520කි. මේ රථය ධාවනය කළත් නොකළත් පාඩු සිදු වේ. වාහනය භාවිතා නොකළවිට සිදු වන්නේ එහි රික්තක අඩු වී (වැකුම් බැස) එයි සංවේදක (සෙන්සර්) අක්‍රිය වී විශාල වියදමක් දරන්නට සිදු වීමය. භාවිත කළ විට අධික ඉන්ධන පරිභෝජනයක් සිදු වේ.

මේ කරුණු සැලකිල්ලට ගත් වර්තමාන සභාපති ඩී.ජේ රාජකරුණා, මේ වනවිට තීරණය කර ඇත්තේ එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමටය. ඒ හරහා සංස්ථාවට විශාල වැයක් අඩු වනු ඇත. එක් අතකින් බස් මිල දී ගන්නා නව බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ එක් බස් රථයකට මිලියන 20ක් පමණ වන අතර, බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ මිලියන 40ක් පමණ මුදලක් පමණි.

ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව පසුගිය සිකුරාදා ඉදිරිපත් කර තිබේ.

මේ වනවිට සේවක ප්‍රවාහනයට යොදා ඇති ටාටා බස් රථ වසර 10කට වඩා පැරැණි වන අතර මිල දී ගැනීමට යෝජනා කර ඇති බස් රථ දෙක පූර්ණ වායුසමනය කළ බස් රථය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT