නුවරඑළිය ලංගම ඩිපෝව තලවකැලේ සිට කිරිමැටිය හරහා නුවරඑළිය දක්වා පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට ප්‍රමාණවත් බස් රථ ධාවනයට එක් නොකිරීමෙන් එම මාර්ගයේ ධාවනය කරන බස් රථවල ගමන් ගන්නා පාසල් සිසුන් දැඩි අවදානමකට ලක්ව ඇත.
එම ඩිපෝව මඟින් පාසල් සිසුන්ට වාර ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලැබ ඇති නමුත්, පාසල් යෑමට සහ යළි ඒමට ප්‍රමාණවත් බස් රථ එක් නොකිරීමෙන් ධාවනය වන බස් රථයට ගමන් කිරීමට විශාල සිසුහු පිරිසක් එක් වෙති. මේ හේතුවෙන් ඇතැම් සිසුන් බස් රථයේ පාපුවරුවේ එල්ලී අවදානම් ගමනක නියැළී සිටින අයුරු දැකගත හැකිය. එම ප්‍රදේශයේ සිසුන් චෝදනා කරන්නේ, ඇතැම් ලංගම බස් රථවලට පාසල් සිසුන් නංවා නොගන්නා බවයි.
අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය ලංගම ඩිපෝවේ නිලධාරියකුගෙන් සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ, එම මාර්ගයේ ධාවනය කරන බස් රථයක රියැදුරු සහ කොන්දොස්තරවරයාට පිරිසක් පහරදීම හේතුවෙන් නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේ රාත්‍රියේ ගාල් කර තැබූ බස් රථය එහි ගාල් නොකරන බවයි. ඒ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, එම පහරදීමට සම්බන්ධ සැකකරුවන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් බස් රථය එම ප්‍රදේශයේ ගාල් කර තැබීම අවදානම් බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.