සිය කුඹුරට රසායනික දියර ඉසීමට ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් දියර ඉසීමට යොදාගන්නා ටැංකිය ද සමඟ බිබිල, මල්ලැහැව කුඹුරක වැටී මියගොස් සිටියදී පෙරේදා (22) සොයා ගත් බව බිබිල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බිබිල, කොටගම, ගොඩපිටවත්තේ පදිංචි ඩබ්ලිව්.එම්. සමතපාල නමැති 69 වියති විවාහකයෙකි. මියගිය අය බිබිල, උඩමල්ලැහැව, කැලදෙන වෙල්යායේ කුඹුරේ ඇළ කණ්ඩියෙන් දියර ඉසින යන්ත්‍රයද සමඟ වැටී සිටින අයුරු ඒ අසලින් ගමන් කළ අයකු දැක ඒ බව මියගිය අයගේ නෑදෑයන්ට සහ පොලීසියට දන්වා ඇත.
මොහු මියගිය ස්ථානයට පැමිණි බිබිල හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්.ඒ. සරත් වීරසිංහ මහතා හා බිබිල පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ සිදුකළහ. එහිදී මියගිය අයගේ බිරිය කියා සිටියේ, තම සැමියා කුඹුරට රසායනික දියර ඉසීමට ගිය බවත් ඔහු හදවත් රෝගියකු බවත් ඒසඳහා කලක සිට ප්‍රතිකාර ලබන බවත්ය. තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැති බවත් ඇය පරීක්ෂණයේදී කියා සිටියාය.
මළ සිරුර, බිබිල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහලට රැගෙන ගිය අතර පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (22) සිදුකිරීමට නියමිතව තිබුණි.
මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතාගේ හා බිබිල පොලිස් ස්ථානාධිපති එස්.පී.සී.එස්.කේ. සෙනරත් මහතාගේ උපදෙස් මත බිබිල පොලිස් ස්ථානයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.