කුඹුක්ගැටේ සිට මොරගොල්ලාගම දක්වා ඇති මාර්ගයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් එගොඩගම මංසන්ධියේ සහ මාඑළිය දාගම ප්‍රදේශයේ රජයේ සේවක නිල නිවාස 05ක් දැනට වසර 18කට අධික කාලයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලයට හැර විනාශ වීමට ඉඩහැර ඇති බව එගොඩගම සහ මාඑළිය දාගම ප්‍රදේශවාසීහු පවසති.
වසර ගණනාවක් කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම නිසා සමහර නිවාස පුපුරා ඇති අතර, සමහර නිවාසවල ජනෙල් පියන් සොරුන් ගලවා ගෙන ගොස් තිබේ. එගොඩගම පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නිල නිවාසය ගොඩනැඟිල්ලක ගෙවත්තෙහි අංගසම්පූර්ණව ඉදි කරන ලද පාවිච්චියට ගත හැකි ළිඳක් දක්නට ඇති අතර, අද වන විට ළිඳ සහ ගෙවත්තද නිල නිවාස ගොඩනැඟිල්ලද සම්පූර්ණයෙන්ම කැලයට යටවී තිබේ.
සුළු අලුත්වැඩියාවකින් පසු මේ සියලුම ගොඩනැඟිලි ප්‍රයෝජනයට ගත හැකි බව වගකිවයුතු අයට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාඑළිය දාගම ප්‍රදේශයේ ඇති නිවාස අද හොඳ තත්ත්වයෙන් පවතී. වර්තමානයේ මෙවැනි එක් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා විශාල වියදමක් දරන්නට සිදු වේ. එවැනි තත්ත්වයක තිබියදීත් ගොඩනැඟිලි 5ක් මෙසේ විනාශ වීමට ඉඩහැර තිබීම ජාතික අපරාධයක් යැයි මහජනතාව පෙන්වා දෙති.