ඉන්දියාවේ මැන්ගලෝර්හි 2025 ජනවාරි 10,11 සහ 12 යන තෙදින පැවැත්වූ ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළට සහභාගි වූ, ජී.කේ. සුසන්ත ධම්මික පෙරේරා මහතා රන් පදක්කම් 3ක් හා රිදී පදක්කම් 2ක් ද සී.ඒ.බී. මාරසිංහ මහතා රන් පදක්කම් තුනක් ද හිමිකර ගැනීමට සමත්ව ඇත.
මීටර් 5000, මීටර් 800, මීටර් 400 (සහය) තරග ඉසව්වලින් රන් පදක්කම් 3ක් ද මීටර් 1500 සහ මීටර් 400 (කඩුලු) ඉසව්වලින් රිදී පදක්කම් 2ක් ද පන්නිපිටිය තැපැල් කාර්යාලයේ සේවය කරන ජී.කේ. සුසන්ත ධම්මික පෙරේරා මහතා දිනා ගැනීමට සමත්ව ඇත. පන්නිපිටිය තැපැල් කාර්යාලයේදී ජී.කේ. සුසන්ත ධම්මික පෙරේරා මහතා, මාතෘ භූමියට සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවටත් විශාල ගෞරවයක් ලබාදීම වෙනුවෙන් කාර්යාලයේ නිලධාරීන් විසින් තැපැල් කාර්යාල පරිශ්‍රයේදී ඒ මහතා හරසරින් පිළිගැනිණි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ සී.ඒ.බී. මාරසිංහ මහතා රන් සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට සමත්ව ඇත. වයස අවුරුදු 65 වයස් කාණ්ඩය යටතේ තරග කළ මාරසිංහ මහතා මීටර් 1500, 5000 සහ මීටර් 10,000 යන ඉසව් තුනෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේ 1982 සිට 1987 දක්වා මීටර් 1500 සහ 5000 යන ඉසව්වල වාර්තාවන්ට හිමිකම් කියමින් වසර 50කට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රීඩාවේ යෙදෙන මාරසිංහ මහතා ඒ ශ්‍රේණියේ වොලිබෝල් විනිසුරුවකු ලෙසත් ජාත්‍යන්තර පාපන්දු සහය විනිසුරුවරයෙකු ලෙසත් කටයුතු කරමින් 2004 වසරේ 7 වැනි ආසියානු කුසලාන පාපන්දු අවසන් තරග විනිශ්චය කිරීමත් සිදු කර ඇත.
ඔහු සෙලින්කෝ රක්ෂණ සමාගමේ වසර 34ක් සේවය කර ඉන් විශ්‍රාම ලබා සිටින්නෙකි.
දකුණු ආසියාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය ඉන්දියාවේ මැංගලෝර් නගරයේ මංගලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පසුගිය දා අවසන් විය.