ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ක්‍රියාත්මක වුවද දීර්ඝ කාලයක් තිස්සේ පකිස්ථානයට විසින් මාළු, ටයිල් වැනි භාණ්ඩ රැසක් වෙනත් රටවලින් ආනයනය කරන බවත් එබැවින් දෙරට අතර පවතින මෙම නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කළ යුතු කාලය එළඹ ඇතැයි පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් Faheem UL Aziz මහතා පවසයි.
මහ කොමසාරිස්වරයා මෙසේ පැවසුවේ ඊයේ (23) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මුණ ගැසීමට අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් Faheem UL Aziz මහතා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පවතින වෙළඳ ගිවිසුම වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන විය යුතු බවත් තේ අපනයෙන් ඔබ්බට ගොස් නව අපනයන අංග කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු කළ යුතු බවද පැවසීය.
තවද මැණික් හා ස්වර්ණාභරණ, බෝට්ටු නිෂ්පාදන, සෙරමික්, ඛණිජ වැලි වැනි නිෂ්පාදන දෙරටටම වාසි ළඟාකරගත හැකිවන පරිදි පකිස්ථාන – ශ්‍රී ලංකා ද්වීපාර්ශික වෙළෙඳ ගිවිසුමට ඇතුලත් කළ යුතු බවත් ලංකාවේ එම භාණ්ඩ සඳහා පකිස්ථානයේ විශාල වෙළඳපළක් පවතින බවද වැඩිදුරටත් පැවසීය. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා පකිස්ථාන ගැනුම්කරුවන් ශ්‍රී ලංකාව වෙත යොමු කරවන බවටද පකිස්ථාන මහ කොමසාරිස්වරයා සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා වෙත පොරොන්දු විය.
මෙම අවස්ථාව සඳහා පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් Iftikhar Hussain, පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ හා ආයෝජන නිලධාරී Mahwash Sami, අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රසිදු මාරගල යන අය සහභාගී වූහ.