දකුණු ආසියානු කළාපය තුළ වානිජ කටයුතු ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සඳහා වෙළඳ කොමසාරිස් (Trade commissioner for South Asia) Harjinder kang මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ ඊයේ (23) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මුණගැසුණු අවස්ථාවේදීය.
එක්සත් රාජධානියේ දකුණු ආසියාව සඳහා වෙළඳ කොමසාරිස්වරයා මෙන්ම බටහිර ඉන්දියාව සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාද වන Harjinder kang මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා සමග කර්මාන්ත අමාත්‍යාංශයට පැමිණ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ ශ්‍රී ලංකාවේ ආයෝජන හා වාණිජ කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
මෙහිදී හඳුන්නෙත්ති අමාත්‍යවරයා මැණික් හා ස්වර්ණාභරණ, ග්‍රැනයිට්, ඛණිජ වැලි, පොස්පේට් යන කර්මාන්ත ක්ෂේත්‍රවල අගය එකතු කිරීම් සහිත ආයෝජන අවස්ථා රැසක් මෙරට පවතින බවත් ඒ සඳහා බ්‍රිතාන්‍ය ආයෝජකයන්ට ආරාධනා කරන බව පැවසීය. විශේෂයෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ආශ්‍රිතව පැන නැගී තිබූ ගැටලු රැසක් විසඳීමට නව රජය කටයුතු කර ඇති බවත් එම ක්ෂේත්‍රය තුළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක අපනයන ආදායමක් මේ වසරේදී ඉලක්ක කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
අගය එකතු කළ තේ, කුරුඳු, කුළුබඩු සඳහා බ්‍රිතාන්‍ය ගැනුම්කරුවන් ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට කටයුතු කරන බව පැවසූ Harjinder kang මහතා දිගුකාලීන වාසි ලැබෙන පරිදි ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ වාණිජ අධ්‍යක්ෂ සහ දකුණු ආසියාව සඳහා වාණිජ ප්‍රතිපත්ති උපදේශක Mara Waters, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ හා ආයෝජන නියෝජ්‍ය ප්‍රධානී අසන්ති ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රසිදු මාරගල යන අය සහභාගී වූහ