ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් ‘මහවැලි පුනරුද සතිය’ නමින් විශේෂ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මේ මස 27 වැනිදා සිට පෙබරවාරි මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක මේ වැඩසටහන මහවැලි H කලාපයෙන් ආරම්භ කෙරේ. මහවැලි කලාප 10 තුළම ක්‍රියාත්මක වන මේ වැඩසටහනට මහවැලි H කලාපයේ ගොවි සංවිධාන 225ම දායක කරගැනීමට නියමිතය. අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අයත් වන මහවැලි H කලාපයේ ගොවි පවුල් 78,000ක් සිටින අතර, එහි 244,000ක පිරිසක් වාසය කරති.
මේ වැඩසටහන ආරම්භ වන 27 වැනිදා ‘ශ්‍රමදාන දිනය’ ලෙස නම් කර ඇති අතර, නිල වශයෙන් ‘මහවැලි පුනරුද සතිය’ ආරම්භ කිරීම එදින ගල්නෑව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. මහවැලි H කලාපය ආවරණය වන පරිදි ශ්‍රමදාන කටයුතු ගොවි සංවිධාන මඟින් සිදු කරන අතර, එම කලාපයේ රාජ්‍ය නිලධාරීන් මේ වැඩසටහන පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද එදින පස්වරුවේ සිදු කිරීමට නියමිතය. 28 වැනිදා ‘ගොවි සංවිධාන හා ප්‍රජා සංවර්ධන දිනය’, 29 වැනිදා ‘කෘෂිකර්ම දිනය’, 30 වැනිදා ‘වාරිමාර්ග දිනය’, 31 වැනිදා ‘ගොවි උපහාර දිනය’, පෙබරවාරි මස 01 වැනිදා ‘ක්‍රීඩා දිනය’ සහ 02 වැනිදා ‘ව්‍යාපාරික දිනය’ නම් කර තිබේ.
මේ වැඩසටහන පිළිබඳව පෙරේදා (22) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඉඩම් වාරිමාර්ග හා මහවැලි නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මෙලෙස පැවසුවේය.
“කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් රජය මේ රටේ ඇති කිරීමට අපේක්ෂිත වෙනස මහවැලියෙන් ඉටු කිරීම මහවැලි පුනරුද සතියේ අරමුණයි. මහවැලි අධිකාරියට, කෘෂිකර්මාන්තයට සහ පශු සම්පත් අංශයට ගොවීන්ගේ සංස්කෘතික, පාරිසරික, සමාජීය කටයුතු සඳහා මැදිහත්වීමේ ඉඩක් තිබෙනවා. මහවැලි අධිකාරිය යටතේ ගොවියා දක්වාම යන යන්ත්‍රණයක් පවතිනවා. එම යන්ත්‍රණය සක්‍රිය කරමින්, මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් මහවැලි පුනරුදය මහවැලි H කලාපයෙන් අපි ආරම්භ කරනවා.”
එහිදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත හේරත් මහතා ද අදහස් දැක්වීය.
මහවැලි පුනරුද සතියෙන් සිදු කරන්නේ මහවැලි කලාප 10 තුළ සංවර්ධන කටයුතු වේගයෙන් සිදු කිරීමයි. ඊට අදාළ සංවර්ධන කටයුතු මහවැලි කලාප තුළ වසර පුරාම පවත්වාගෙන යන අතර, වසරේ මුල් මාස 04 සඳහා ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 2000ක් දී තිබේ.
ඡායාරූප – ශාන් රූපස්සර