Sunday, April 20, 2025
Home » සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී නාමල් කුමාර 27දා තෙක් රිමාන්ඩ්
ජාතීන් අතර සංහිඳියාව බිඳෙන දෑ සමාජගත කිරීම:

සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී නාමල් කුමාර 27දා තෙක් රිමාන්ඩ්

by mahesh
January 24, 2025 1:00 am 0 comment

කල්පනි අබේසිංහ

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook) මුහුණුපොත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන Òනාමල් කුමාරÓ යන අය ලබන 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (23) නියෝග කළාය.

ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව මේ නියෝගය කරන ලදි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් කළ කරුණු දැක්වීමෙන් මහේස්ත්‍රාත්වරිය විසින් මේ නියෝගය කරන ලදි.

සැකකරු මේ චෝදනාවට හා සමාන වරදක් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, නාමල් කුමාර මේ නඩුවේ ද සැකකරුවකු ලෙස නම් කර ඇති බැවින් ඊයේ දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර ස්ථානාධිපතිට මහේස්ත්‍රාත්වරිය පෙර නඩු දිනයකදී නියෝග කර තිබිණි. අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන සැකකරු ඔහුගේ නමින් ඔහුගේ බිරිය හා බිරියගේ මවගේ නමින් මිලදී ගත් දුරකතන සිම්පත් භාවිත කර ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවත්, එමඟින් එල්ටීටීඊ සංවිධානයේ ධජ, ක්‍රියාකාරකම්, ලාංඡන හා වෙනත් තොරතුරු ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන ආකාරයේ පෝස්ට් පළ කර ඇති බවත් විමර්ශන නිලධාරීහු කරුණු දක්වමින් අධිකරණයට දැන්වූහ.

සැකකාර නාමල් කුමාර යන අයගේ නමින් හා වෙනත් අන්වර්ථ නම්වලින් පවත්වාගෙන ගිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔහු විසින්ම හසුරුවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වූ හෙයින් මේ පැමිණිල්ල ගොනු කරන බවත් විමර්ශන නිලධාරිහු අධිකරණයට දන්වා සිටියහ.

මේ සිද්ධිය අදාළව මුහුණුපොත සමාගමේ ප්‍රධාන ආයතනය වන මෙටා සමාගමෙන් මීට අදාළ තොරතුරු ලබාගත් බව ද නාමල් කුමාර නමැත්තාගේ මව සහ බිරිය ගෙන්වා ප්‍රකාශ ලබා ගත් බවද සිද්ධිය තවදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

තම සේවාදායකයා මේ සිද්ධියට වරදකරු නොවන බවත් මීට පෙර මේ අධිකරණයේ මහවිරු සැමරුමේ සිද්ධියකට අදාළව පෝස්ටර් බෙදාහරින ලද සැකකරුවන්ට ත්‍රස්තවාදී පනත යටතේ වරදක් සිදු නොකිරීම නිසා ඇප ලබා දුන් බව සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව දෙපාර්ශ්වයම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ සැකකරු ලබන 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් විමර්ශන කටයුතු තවදුරටත් කර ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT