Wednesday, April 9, 2025
Home » ‘බැට් මෑන්’ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් ලක්ෂ 30ක ලැප්ටොප් උස්සලා

‘බැට් මෑන්’ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් ලක්ෂ 30ක ලැප්ටොප් උස්සලා

by mahesh
January 24, 2025 1:00 am 0 comment

බණ්ඩාරගම- බිමල් ජයසිංහ, නවගමුව සුගත් පේමතිලක

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 26 වැනි මහලට මධ්‍යම රාත්‍රියේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනා ලැප්ටොප් පරිගණක හා වටිනා ජංගම දුරකතන සොරාගෙනÓ බැට් මෑන්Óයනුවෙන් බිත්තිවල ලියු කාර්යාලයක හිටපු අධ්‍යක්ෂවරයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි සුඩාන් එරිත්රියා (Erithriya) ජාතිකයෙකි.ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 26 වැනි මහල පෞද්ගලික සමාගමක් විසින් බදු පදනම මත ලබාගෙන විවිධ කාර්යාල සඳහා කුලී පදනම මත ලබා දී ඇති අතර සැකකාර පුද්ගලයා ඉකුත් 17 වැනිදා අලුයම 1.00ත් 2.00ත් අතර කාලයේදී විවෘත දොරෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ඇතුළු වී විදුලි සෝපානය ඔස්සේ 26 වැනි මහල කරා පැමිණ යතුරු පුවරුවෙන් යතුරු ලබාගෙන කාර්යාල හතරකට ඇතුළුවීමේ සොරකම කර තිබූ බව පොලීසිය කියයි.

ඒ සම්බන්ධයෙන් එහි සේවා කළමනාකරු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය කොටුව පොලීසියේ නිලධාරීන් කළ මූලික විමර්ශනවලදී දේපළ සොරාගෙන තිබූ කාර්යාල බිත්තිවල Ò බැට් මෑන් Òයනුවෙන් ඉංග්‍රීසියෙන් සටහන්ව තිබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී ඇත. අනතුරුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී පුද්ගලයකු උත්සවයකට යන ආකාරයෙන් ජැන්ඩියට හැඳ පැලඳ කැප් තොප්පියක් මුව ආවරණයක් පැලඳ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 26 වැනි මහල කරා පැමිණෙන පුද්ගලයකු එහි යතුරු පුවරුවෙන් යතුරු රැගෙන කාර්යාලය විවෘත කර එහි තිබූ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන බෑගයකට දමාගන්නා අයුරු සටහන්ව තිබූ බව පොලීසිය කියයි.

ඒ අනුව මේ සොරකම මේ මහලේ අභ්‍යන්තරය පිළිබඳ හොඳින් දන්නා පුද්ගලයකු කළ බවට සක් සුදක් සේ සැක හැර දැනගත් පොලිස් නිලධාරීන් වසරක පමණ කාලයක සිට මෙහි සේවය කළ සහ සේවය හැර ගිය පුද්ගලයන්ගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා සහ මුහුණුපොතේ ගිණුම්ද පරීක්ෂා කිරීමේදී මේ සැකකරුගේ මුහුණු පොතේ බැට් මෑන් රුව බහුල වශයෙන් ගැබ්ව තිබීමත්, සොරකම් සිදුව තිබූ කාර්යාලයේ බැට් මෑන් යනුවෙන් සටහන්ව තිබීමත් සංසන්දනය කර සැකකරු හඳුනා ගැනීමට කටයුතු කර තිබිණි. ඊටත් අමතරව සීසීටීවී දර්ශන නිරීක්ෂණය කර ගමන් විලාසය අනුව සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරගෙන කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ ශාලාවක් අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සොරකමේ සුල මුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරුගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී 26 වැනි මහලේ කාර්යාලයක් කුලී පදනම මත ලබාගෙන උපදේශන මධ්‍යස්ථානයක කළමනාකාර අධ්‍යක්ෂ ලෙස වසර කිහිපයක් කටයුතු කර ඇති අතර සැකකරු ද එකී කාලයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විශේෂයෙන් 26 වැනි මහලේ ආරක්ෂක විධිවිධාන සහ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හොඳින් අවබෝධයක් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ තොරතුරු අනුව සැකකරු නවාතැන්ගෙන සිටින වැල්ලවත්ත ප්‍රදේශයේ නි‍ෙවසේ සහ බම්බලපිටිය පිටකොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල වෙළෙඳසල් කීපයකට සොරා ගත් ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන ඉතා අඩු මුදලකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

සැකකරු එකී සියලුම මුදල් කැසිනෝ ක්‍රීඩාවට වැය කර තිබූ බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකතනයේ සැකකරු භාවිත නොකරන මුහුණුපොතේ ගිණුමක් පරීක්ෂා කිරීමේදී එහිද Òබැට් මෑන් Òරුව ගැබ්ව තිබූ බවත් පොලීසිය කියයි. සැකකරුගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී කුඩා කල සිටම බැට් මෑන්ට දැඩි ඇල්මක් දැක්වූ බවත් තම හදවතේ වීරයා බැට් මෑන් බවත් ඒ හේතුවෙන් තමන් බැට් මෑන්ගේ රුව සහ නම නිරතුරුවම සෑමදේටම යොදාගන්නා බවත් පවසා ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් කුමාර ගලගමගේ, සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහත්වරුන්ගේ උපදෙස් මත කොටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා, උප පොලිස් පරීක්ෂකවරුන් වන වීරකෝන්, පණ්ඩිතරත්න පොලිස් සැරයන් (38861) සෙනෙවිරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන රාජපක්ෂ හා වනිගරත්න මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT