Home » නන්දිමිත්‍ර නවවංගු රාජමහා විහාරයේ සෑ රදුන් සසුනට පූජා කිරීම හෙට

නන්දිමිත්‍ර නවවංගු රාජමහා විහාරයේ සෑ රදුන් සසුනට පූජා කිරීම හෙට

by mahesh
January 24, 2025 1:00 am 0 comment

ආණමඩුව, පල්ලම සංරක්ෂණය කරන ලද ඓතිහාසික නන්දිමිත්‍ර නවවංගු රාජමහා විහාරයේ සෑ රදුන් වහන්සේ හෙට (25) සවස 2.48ට යෙදෙන සුබ මොහොතින් විවෘත කෙරේ.

ලොව දැනට දැකිය හැකි එකම පද්මාකාර ස්ථූපය වන මේ සෑ රදුන් වහන්සේ සසුනට පූජා කෙරෙන අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී සහ වයඹ පළාත් ප්‍රධාන සංඝනායක තම්මැන්නාවැටියේ රතනජෝති නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වැඩමවති.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති, මහාචාර්ය චන්දන අබේරත්න, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ ද මේ අවස්ථාවට එක්වෙති.

පුලියන්කුලම රාජමහා විහාරයේ සිට පල්ලම නන්දිමිත්‍ර රාජමහා විහාරයට සර්වඥ ධාතු තැන්පත් කරඬුව ඇතු මතින් වැඩම කරවීමේ පෙරහර මංගල්‍යය අතිඋත්කර්ෂවත් අන්දමින් පෙරේදා (22) සිදු කෙරිණි.

මහා සෑයට කොත් පැලඳවීම ඊයේ (23) සිදු විණි. නන්දිමිත්‍ර මහා සෑයෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත වෙනත් ධාතූන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය සහ වන්දනාව ද ඊයේ (23) සිදු කෙරිණි.

අද (24) සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ උදෑසන සඟ සතු හීල්දානය පිරිනැමීමට කටයුතු යොදා තිබෙන අතර, හෙට (25) පෙරවරු 8 සිට ස්වර්ණාලේපිත බුදු පිළිම 2567ක් නමක් සර්වඥ ධාතූන් වහන්සේලා, මහරහත් ධාතූන් වහන්සේලා ඇතුළු වෙනත් විශේෂිත පූජාවන් ධාතු ගර්භයෙහි නිදන් කොට පූජා කිරීම ද සිදු කෙරේ.

ඒ නිමිත්තෙන් අනිද්දා (26) සිට දින හතක් පුරා පින්කම් මාලාවක් පැවැත්වීමට ද විහාරස්ථ දායක සභාව කටයුතු යොදා තිබෙන බව විහාරාධිපති පොත්තුක්කුලමේ ධීරානන්ද හිමියෝ පවසති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT