Wednesday, April 23, 2025
Home » සරල-සුන්දර ගායකයා අනිල් භාරතී !

සරල-සුන්දර ගායකයා අනිල් භාරතී !

by mahesh
January 24, 2025 1:00 am 0 comment

ආයාසකර සිදුවීම් පසුකොට බලවත් බාධා මධ්‍යයේ කලා ක්ෂේත්‍රවල ජය කෙහෙළි නංවන බොහෝ ශිල්පීහු ආධුනිකයන්ට අත-හිත නො දෙති. ඇතැම්විට අපහසුවෙන් එම ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට වෑයම් කරන ආධුනිකයා අපහසුවට පත්කරති. ඔවුන් අවඥාවට ලක් කරති. සුළු වැරැදි හුවා දක්වමින් ආධුනිකයන් නැත්තටම නැති කිරීමට ක්‍රියා කරති. අවාසනාවකට මෙන් සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි මෙබඳු ප්‍රවීණයෝ වැඩි වෙති. මේ අතින් සලකා බලනවිට අනිල් භාරතී වැනි ගායන ශිල්පීහු ආධුනිකයන්ගේ මහත් ගෞරවයටත් – ආදරයටත් ලක්වෙති. ඊට හේතුව භාරතී වැනි අය හැකි සෑම අවස්ථාවකම ආධුනිකයා පෙරමුණට ගත් බැවිනි. ආධුනිකයාට හරි මාවත පෙන්වා දුන් බැවිනි. විශේෂයෙන් ආධුනික සංගීත කණ්ඩායම්වලට අනිල් භාරතී අප්‍රමාණ ලෙස අත – හිත දුන්නේය.

දේශීය සංගීත ක්ෂේත්‍රයෙහි හිත හොඳ – නිහතමානී කලාකරුවකු ලෙසින් ප්‍රකට වූ අනිල් භාරතී සිය ගායනා ක්ෂේත්‍රයට පමණක් නොව සමස්ත ජීවිතයටම තිත තබමින් මෙලොවින් සමුගෙන ඇත්තේ තවත් කාලයක් සිය රසිකයන් පිනවීමට කාලය ඉතිරිව තිබියදීය. සුළු කාලයක් අසනීපව සිට පාණදුරේ රෝහලක දී පසුගිය බදාදා – දහවල් අනිල් භාරතී සදහටම දෑස් පියා ගත්තේය. ඔහු මිය යනවිට වයස අවුරුදු හැත්තෑපහක් සලකුණු කරගෙන තිබූ බව සඳහන්ය. ගෙවී ගිය කාලය දෙස ආපසු හැරී බැලුවහොත් ඔහු කිසිවකුට අවහිර – බාධා – අකටයුතු සිදුකර නැත. හිත හොඳ නිහතමානී ගායකයකු ලෙස කීර්තිමත් නමක් අනිල් භාරතීට හිමිය.

සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි විචිත්‍ර සලකුණක් සේ අනිල් භාරතී හැඳින්විය හැකිය. ඔහුගේ සෞම්‍ය හඬ හා පැහැදිලි උච්චාරණය අනුකරණය කිරීමට බොහෝ ආධුනිකයෝ කැමැත්‍තක් දක්වති. භාරතීගේ ගායනා විලාසය සරලය. එහෙත් සුන්දරය. වැඩි ආලවට්ටම් නැති ඔහුගේ ශෛලිය කාටත් අනුකරණය කළ හැකිය. එහෙත් ඔහුට හිමි හඬ පෞරුෂය වෙත ළඟාවීම පහසු නැත. එය උපතින්ම ඔහුට ලැබුණු මහාර්ඝ දායාදයක් ලෙස පැවැතිණි.

නත්තල් කැරොල් ගායනයේදී ද ප්‍රසංග වේදිකාවේදී ද අනිල් භාරතීගේ ගීත නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. ඕනෑම සුහද හමුවකදී, සාදයකදී, සංචාරයකදී තරුණ පරපුරේ නිරන්තර ආකර්ෂණයට ලක්වන ඔහුගේ ගීත සෞන්දර්ය ගුණයෙන් යුතුය. ඕනෑම අවස්ථාවකදී සැහැල්ලුවෙන් ගායනාකොට ප්‍රහර්ෂයක් උපදවාගත හැකිය. වරෙක ඔහුගේ ගීත වේග රිද්මයට අයත්ය. තව වරෙක සරල – සුන්දර – විචිත්‍ර ගීත ගණයට ඇතුළත්ය. තවත් වරෙක කණ්ඩායම් සංගීත සම්ප්‍රදායට අනුයුක්ත වේ. කුමන ප්‍රවර්ගයකට ඇතුළත් කරන්නේ වුව භාරතීගේ පදවැල, තනුව, සංගීත සංයෝජනය සරලය. සුන්දරය. පහසුවෙන් වාදනය කළ හැකිය. තරුණ පරපුර ඔහුගේ ගීතවල එන රිද්මයට විශේෂයෙන් ආකර්ෂණය වෙති.

අනිල් භාරතී ක්ලැරන්ස්ගේ සංගීත සම්ප්‍රදාය ගුරුකොට එම ගීත කලාව නියෝජනය කරමින් ගායනා ක්ෂේත්‍රයෙහි රැඳී සිටි බවට මතයක් පවතී. එය පිළිගත හැකි සත්‍යයකි. ඔහු ගායනා ලෝකයට ප්‍රවේශ වන්නේ ක්ලැරන්ස්ගේ නායකත්වයෙන් යුතු ‘ගෝල්ඩන් ටයිම්ස්’ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයකු ලෙස කටයුතු කරමින්ය. අනිල් භාරතීගේ මුල් ගීත සියල්ලෙහි තනුව හා සංගීතය නිර්මාණය කර ඇත්තේ ක්ලැරන්ස්ය. දෙදෙනාගේ මිත්‍ර සන්ථවය ක්ලැරන්ස් මිය යනතෙක් ම හෘදයාංගම ලෙස දක්නට ලැබිණි. ඔව්හු ගජ මිතුරෝ වූහ. අනිල් භාරතීට ගීත රචනය පිළිබඳ යම් පරිචයක් තිබිණි. ඔහුගේ ඇතැම් ගීත ඔහුගේ ම රචනා බව සඳහන්ය. කුමක් වුව අනිල්ගේ සෑම ගීයකම සරල – සුන්දරත්වයක් තිබිණි. සෑම ගීයක්ම ගීතාත්මක බවින් අනූනය. ඒවා ආයාසයෙන් ප්‍රබන්ධ කළ ඒවා නොව ස්වාභාවිකව ගැළපීමකින් යුතුව එකට ගලා ගිය ගීතයන්ය.

අපගේ ගායන ක්ෂේත්‍රය වර්ගීකරණයකට ලක් ක‍ළහොත් එහි පැහැදිලි කොටස් කිහිපයක් දකින්නට ලැබේ.

(I)සංගීතවේදියා – ගායකයා

(II)සංගීත සම්ප්‍රදායක නියෝජිතයා

(III)පාරම්පරික ගායකයා

(IV)ස්වාධීන ගායකයා

අනිල් භාරතී අයත් වන්නේ හතරවන හෙවත් අවසන් වර්ගීකරණයටය. ඔහු සංගීතවේදියෙක් නොවේ. කිසියම් ගුරු – කුලයකින් හෝ සංගීත පරපුරකින් හෝ පැවැත එන්නෙක් ද නොවේ. ඔහු සිය අනන්‍ය ප්‍රතිභාව නිසා ගායකයකු ලෙස ස්වාධීනව ඉදිරියට පැමිණි කලාකරුවෙකි. ගුවන් විදුලියේ සරල ගී ගායනයෙන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායනා විලාසයෙන් හා කැසට් පටයෙන් සිය රසික ප්‍රජාව කුල්මත් කළ අනිල් භාරතී අපේ ගීත කලාව තුළ නොමැකෙන සටහනක් තැබූ ගායකයෙකි. ඔහු අනුකරණය කළ නොහැකිය. එතෙක් ඔහුගේ ගීත අදත් – හෙටත් අපේ තරුණ පරම්පරාව ගායනා කරනු ඇත.

රන්ජන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT