Monday, April 21, 2025
Home » වසරේ උත්කර්ෂවත් ගාලු සාහිත්‍ය උලෙළ

වසරේ උත්කර්ෂවත් ගාලු සාහිත්‍ය උලෙළ

by mahesh
January 24, 2025 1:00 am 0 comment

වසරේ උත්කර්ෂවත්ම සාහිත්‍ය උත්සවය වන ගාලු සාහිත්‍ය උලෙළ 2025 පෙබරවාරි 06 වැනි බ්‍රහස්පතින්දා සිට 09 වැනි ඉරිදා දක්වා මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ ආකර්ෂණීය සංවාදයේ විචිත්‍රවත් සිවුදින සැමරුමකට සම්බන්ධවීමට අමුත්තන්ට අවස්ථාව ලබාදී ඇත. පෙබරවාරි 6 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි ගාලුකො‍ටුව ඇතුළත කීර්තිමත් දේශීය, විදේශීය ලේඛක, ලේඛිකාවන් සහභාගී වන සැසි 100ට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇත.

මේ වසරේ පැවැත්වෙන සාහිත්‍ය උලෙළ විවිධාංග ‍ රැසකින් සමන්විතය. ඒ අතර නොමිලේ පැවැත්වෙන වැඩසටහන්, ගැඹුරු සංවාද සැසි, සූපශාස්ත්‍ර රසවින්දන වැඩසටහන්, සාහිත්‍ය භෝජන සංග්‍රහ ඇතුළු සහභාගි වන ඕනෑම අයකුම ආකර්ෂණය කර ගැනීමට සමත් විවිධ වැඩසටහන් ඇතුළත් වේ.

2025 ගාලු සාහිත්‍ය උලෙළේ වැඩසටහන් කාණ්ඩ අතර විවිධ ශානරීය සැසි, වැඩමුළු, සාහිත්‍ය භෝජන සංග්‍රහ, විනෝදාස්වාද වැඩසටහන්, ARTRA හවුල්කාරීත්වයෙන් පැවැත්වෙන සිතුවම් සහ කලා ප්‍රදර්ශන, ළමා සාහිත්‍ය උත්සව ආදිය අන්තර්ගතය. සාහිත්‍ය සැසි යටතේ ප්‍රකට සාහිත්‍යකරුවන් වන ශ්‍යාම් සෙල්වදුරෙයි, මයිකල් ඇටන්බරෝ, පිලිප් සෑන්ඩ්ස්, අෆුවා හර්ෂ්, සත්නම් සංගේරා, සාබා ඩග්ලස් හැමිල්ටන් ඇතුළු තවත් බොහෝදෙනකු සහභාගි වනු ඇත.

උදෑසන යෝගාවලින් දවස ඇ‍රැඹේ. නිර්මාණාත්මක රචනයේ සිට ඡායාරූපකරණය දක්වා ක්ෂේත්‍ර ගණනාවක කුසලතා ඔප්නංවා ගැනීමට අවස්ථාව සැලසෙන ආකාරයේ වැඩමුළු පැවැත්වේ. එසේම ගාලුකො‍ටුවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඉතිහාසඥයන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ගාලුකො‍ටුවේ පදිංචිකරුවන් සමඟ ඇවිදිමින් උගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.

සාහිත්‍ය භෝජන සංග්‍රහ යටතේ ඔබේ ප්‍රියතම ලේඛක, ලේඛිකාවන් සමඟ ගාල්ල අවට සොඳුරු ස්ථානවල දිවා සහ රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා එකතු විය හැකිය. එසේම දිනපතා දහවල් පැවැත්වෙන කවි සැසිවලදී ඔවුන් හා තේ පැන් බොමින් කවි රස විඳීමට ද හැකිය. ඉර බැස යන විට ප්‍රියතම ලේඛක, ලේඛිකාවන් සමඟ කොක්ටේල් තොලගෑමට ද අවස්ථාව ලබාදී ඇත.

විනෝදාස්වාදය වෙනුවෙන් ජෑස් සංගීතය, නර්තන අංග සහ සම්භාව්‍ය සංගීතය රස විඳීමටත් හැකි අතර DJ සංගීතය සහිත රාත්‍රී සාද ආදියටත් සහභාගි විය හැකිය. හාස්‍ය ප්‍රිය කරන ඔබට ශෂී පෙරේරා සමඟ ‘හාස්‍ය රාත්‍රියක්’ ගත කළ හැකිය.

සමකාලීන සිතුවම් සහ කලා ප්‍රදර්ශන ප්‍රිය කරන ඔබට ගාලුකො‍ටුව ඇතුළත පිහිටි කලා මඟ ඔස්සේ ඇවිද යමින් රස වින්දනය පුළුල් කර ගත හැකිය. එසේම ළමුන් වෙනුවෙන් වෙන් කළ ළමා සාහිත්‍ය යටතේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ පැවැත්වෙන නිර්මාණාත්මක වැඩමුළු සහ කතන්දර කීමේ සැසිවලට සහභාගි විය හැකිය.

මේ සියල්ල සහ තවත් බොහෝ දේ සමඟ ගාලු සාහිත්‍ය උලෙළ ඔබ වෙනුවෙන් මඟ බලා සිටියි. උත්සව ප්‍රවේශපත්‍ර දැන් අවසන්ව ඇති අතර, එක්දින ප්‍රවේශපත් පමණක් ඔන්ලයින් ක්‍රමයෙන් දැන් ලබාගත හැකිය. galleliteraryfestival.com වෙබ් අඩවියෙන් ගාලු සාහිත්‍ය උලෙළේ සම්පූර්ණ වැඩසටහන් විස්තරය බාගත ගත හැකියි.

සඳමාලි නිසංසලා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT