Home » ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දී නැහැ

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දී නැහැ

by mahesh
January 24, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

දසවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමක් සිදු කර නොමැති බවත්, දෘෂ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට පමණක් මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ලබාදී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව කීවාය.

ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කාර් රථයක් එම මන්ත්‍රීවරයාට ලබාදුන්න ද ඒ වෙනුවෙන් රියැදුරකු හෝ ඉන්ධන ලබාදීමක් සිදු කර නැති අතර රජයෙන් එම වාහනය සඳහා මේ දක්වා කිසිදු වියදමක් කර නැතැයි ද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් නව ඇමැතිවරුන්ට අදාළ අමාත්‍යාංශවලින් අඩු වියදම් වාහන සොයාගැනීම ඉතා දුෂ්කර වූ බවත් අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් කර තිබුණේ වී එයිට්, රේන්ජ් රෝවර්, බී.එම්.ඩබ්ලිව්. වැනි අධි සුඛෝපභෝගී වාහන යැයි ද ඇය සඳහන් කළාය. අගමැති කාර්යාලයේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් වෙඩි නොවදින රථ දෙකක් තිබූ බවත් එය මේ වන විට තමන් විසින් භාවිත නොකරන බැවින් මිලියන 37ක මුදලක් ඉතිරි කර දීමට හැකි වූ බව ද කීවාය.

චෝදනා කරන ආකාරයට ඇමැතිවරුන්ට වාහන දීලා තිබෙනවා නම් ඒ විස්තර ලබා දෙන්න. අපි ඒ ගැන සොයා බලන්නම් යැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT