Home » ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් කැපවෙනවා – බ්‍රිතාන්‍ය අගමැති තෛපොංගල් සමරමින් කියයි

ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් කැපවෙනවා – බ්‍රිතාන්‍ය අගමැති තෛපොංගල් සමරමින් කියයි

by chanaka
January 23, 2025 11:44 am 0 comment

යුක්තිය සහ සංහිඳියාවට ශ්‍රී ලංකාවේ වගවීම මෙන්ම දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සම්බන්ධයෙන් කැපවීමෙන් සොයා බලන බවට එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර්(Keir Starmer) යළිත් තහවුරු කර තිබේ.

පසුගිය සඳුදා තෛපොංගල් උත්සවය සැමරීම සඳහා ඩව්නිං වීදියේ අංක 10 නිවසේ දී අති උත්කර්ෂවත් මංගල්‍යයක් පැවැත්වූ අගමැති ස්ටාර්මර්, ශ්‍රී ලංකාවේ දෙමළ වින්දිතයන් සඳහා මානව හිමිකම් සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට තම පරිපාලනය කැපවන බව පවසා ඇත.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා තම නිල නිවසේදී පවත්වන ලද විචිත්‍රවත් හා සංස්කෘතික වශයෙන් වැදගත් තෛපොංගල් උත්සවය ඔහුගේ නායකත්වය යටතේ පැවැත්වූ එවැනි පළමු උත්සවය වේ.

බ්‍රිතාන්‍ය දෙමළ ප්‍රජාවේ ප්‍රමුඛ සාමාජිකයන්, මන්ත්‍රීවරුන්, ඉන්දීය මහ කොමසාරිස් සහ සම්භාවනීය අමුත්තන් සහභාගී වූ මෙම සැමරුම, දෙමළ සංස්කෘතික උරුමය හඳුනා ගැනීම සහ සැමරීම සඳහා එක්සත් රාජධානියේ රජයේ කැපවීම අවධාරණය කරයි.

“තෛපොංගල් යනු අස්වැන්නට ස්තූති කිරීමට සහ කෘතඥතාව, ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රජාවේ වටිනාකම් සැමරීමේ අවස්ථාවක්. එක්සත් රාජධානියේ දෙමළ ප්‍රජාව මෙම වටිනාකම් මූර්තිමත් කරනවා. ඔවුන්ගේ සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම අපගේ සමාජය පොහොසත් කරන්න උදව්වක්.” යනුවෙන් රැස්ව සිටි පිරිස අමතමින්, එක්සත් රාජධානියේ ප්‍රථම ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන උමා කුමාරන් සඳහන් කර ඇත.

සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, තාක්ෂණය, ව්‍යාපාර, කලා, සංස්කෘතිය සහ දේශපාලනය යන ක්ෂේත්‍ර ආවරණය කළ බ්‍රිතාන්‍ය දෙමළ ජනතාවගේ කාර්යයට එහිදී උපහාර දැක්වීමක් ද සිදුකර තිබේ.

එරට ඉහළම කාර්යාලයේදී සිය සංස්කෘතිය පිළිගැනීම සහ සැමරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවේ සාමාජිකයන් මෙහිදී කෘතඥතාව පළ කර ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස උක් දඬු, කෙසෙල් කොළ සහ වර්ණවත් කෝලම් ඇතුළු සාම්ප්‍රදායික දෙමළ සැරසිලිවලින් සරසා තිබිණි.

සන්ධ්‍යාවේ කැපී පෙනෙන සිදුවීම වූයේ අස්වැන්න සඳහා කෘතඥතාව සංකේතවත් කරන සාම්ප්‍රදායික පැණිරස බතක් වන පොංගල් චාරිත්‍රානුකූලව සකස් කිරීම සිදුවිය.

දෙමළ සංගීතඥයන්ගේ සහ නර්තන ශිල්පීන්ගේ විචිත්‍රවත් අංග ද උත්සවයට ඇතුළත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT