මධ්‍යම පළාත් සභාවට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් රැසක සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවත් වෘත්තීය සංගම් කරන අනිසි මැදිහත්වීම් නිසා ඉන්නා සේවකයන් තුලනාත්මතව රෝහල් කරා යොමු කිරීම ගැටලුවක් වී තිබෙන බවත් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පවසයි. හෙද සේවාවේ ඇතැම් ස්ථාන මාරු සඳහා ඇතැම් හෙද වෘත්තීය සමිති මැදිහත්වීම නිසා එම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ද ඒ මහතා කීය.මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී වෛද්‍ය සේනක තලගල මහතා මේ කරුණු අනාවරණය කළේය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන ඇමැති කේ.ඩී. ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණි.
මේ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල්වල හෙද නිලධාරිනියන්ගේ අතිරික්තයක් නිර්මාණය වෙද්දී රෝහල් ගණනාවක එකදු හෝ හෙද නිලධාරිනියක් නැති තත්ත්වයක් ඇතිව තිබෙන්නේයැයි ද තලගල මහතා එහිදී පැවසීය.
නිසි මාරුවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා කිසිදු වෘත්තීය සංගමයකට අනිසි මැදිහත්වීමක් කළ නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සංගමය මගින් එවැනි මැදිහත්වීමක් සිදු නොවන්න වගබලා ගන්නා බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හසංක විජේමුණි මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.
වෘත්තීය සංගමය නියෝජනය කරන සේවකයන්ගේ සුබසාධනය ඇතුළු අයිතිවාසිකම් වෙනුවෙන් ඒ ඒ වෘත්තීය සමිති ක්‍රියාත්මක වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් ජනතා සේවයට බාධාවක් වන ලෙස සේවක මාරු කිරීම් නතර කිරීමට වෘත්තීය සංගම්වලට අයිතියක් නැතියැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු 76කගේ හිඟයක් පවතින බවත් එක් වෛද්‍යවරයකු පමණක් සේවය කරන ඇතැම් ප්‍රාදේශීය රෝහල්වල එම වෛද්‍යවරයා නිවාඩු ලබාගත් විට වෛද්‍යවරයකු නොමැතිවීම ගැටලුවක් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් ජගත් අධිකාරී මහතා මෙහිදී පෙන්වා දුන්නේය.