Home » විභාග සහ විෂයමාලාවන් 2026 සිට වෙනස් වෙයි

විභාග සහ විෂයමාලාවන් 2026 සිට වෙනස් වෙයි

by yasara
January 23, 2025 3:04 pm 0 comment

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අත්හිටවූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

පහුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් හදලා තිබුණේ නැහැ. ඒ නිසා අපි එක සමාලෝචනය කරලා අධ්‍යාපනය තුළ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කර 2026 සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය සහ ගිණුම්කරණය වැනි විෂයන් වල අන්තර්ගතය වඩාත් යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමක් ඇරෙන්න ඒවා ඉවත් කරන්න අපිට කිසිම බලාපොරොත්තුවක් නෑ . අපි දකින විදියට මේ විෂයයන් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසක් කරන්න අපි සූදානම් කරමින් යනවා.

අපි විශාල අවධානයක් ගුරු පුහුණුවට දෙන්න බලාපොරොත්තු වෙනවා. පාසල් වලට අවශ්‍ය යටිතල පහසුකම් හරහා පාසල් අතර තියන පරතරය අඩු කිරීම වගේම පාසල් විෂය මාලාවේ අන්තර්ගතය පිළිබඳවත් අපේ අවධානය යොමු කර තිබෙනවා. පාසලකට ඇතුළත් වෙන දරුවෙක්ට ලෝකය විවෘත කරන අධ්‍යාපන අත්දැකීමක් ලබාගන්න පුළුවන් පරිසරයක් බිහි කිරීම තමයි අපේ අරමුණ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මගින් විෂය මාලා සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් විසින් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇගයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා ශිෂ්‍යයන්ට ඇතිවන පීඩනය අවම වන පරිදි තමයි අපි විෂය මාලා සංශෝධනය කරන්නේ. අපි අපේක්ෂා කරන්නේ විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න.

උසස් අධ්‍යාපනය සැලකීමේදී විද්‍යා , තාක්ෂණ හා වෘත්තිය පුහුණු ක්ෂේත්‍ර තුළ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න අපි මැදිහත් වෙනවා. එහිදී අපි වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ රටේ ආර්ථිකයට සෘජුවම දායක වෙන වෘත්තීය අධ්‍යාපනය ගුණාත්මක තත්ත්වයට පත්කරන්න.

නිර්ණායක මත තෝරාගත් පාසල් ළමුන් ලක්ෂ 7ක් සඳහා පාවහන් ලබා දීමට කටයුතු කර ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අත්හිටුවා තිබෙන ශිෂ්‍යත්ව ප්‍රතිඵල ද ඉදිරියේදී ලබා දීමට සුදානම් බව පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT