ලේඛකයකු, නාට්‍ය රචකයකු, නළුවකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, වෘත්තීය සංගම් ක්‍රියාකාරිකයකු, සඟරා සංස්කාරවරයකු, ප්‍රකාශකයකු , කෙටි කතා සංස්කාරකවරයකු , ප්‍රතිශීලි සමාජ සේවකයකු ලෙස කඳුකර සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් අතිමහත් සේවයක් ඉටු කළ ඇන්ටනී ජීවා, සෙබස්තියන් සහ ලක්‍ෂ්මි අම්මාල්ගේ පුත්‍රයා ලෙස 1944 වසරේ මැයි මස 26 වැනිදා කොළඹ දී උපත ලැබීය. කොළඹ, ස්වර්ණ පාරේ පිහිටා තිබූ දෙමළ පාසලෙන් සහ බම්බලපිටිය ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු, කොළඹ නාවල විවෘත විශ්වවිද්‍යාලයෙන් පුවත්පත් කලාව සම්බන්ධයෙන් වන ඩිප්ලෝමාව ලබා ගත්තේ ය.
කඳුකර සමාජයෙන් ම ප්‍රබල සාහිත්‍යකරුවන් රැසක් මතු වූයේ වෘත්තීය අරගලවල ජවය හා සුවඳ සමඟ ද මුසු වෙමිනි. කෝ. නඩේසයියර්, මීනාච්චිඅම්මාල්, සී.වී වේලුපිල්ලෛ, මල්ලිගෛ සිවකුමාරන්, තෙලිවත්ත ජෝෂෆ්, කේ. ගනේෂ්, ප. ආබ්දීන්, ඕවියර්, එම්.එස් ෆාරූන්ථ මාතලේ සෝමු, මු. සිවලිංගම් යනු දීර්ඝ සාහිත්‍යකරුවන්ගේ නාමාවලියට 1960 දශකයේදී තම නම එක් කරගැනීමට ඇන්ටනි ජීවා නම් වූ තරුණ සාහිත්‍යවේදියා සමත් විය. තම සහෝදර කම්කරු ජනතාවගේ විමුක්තිය උදෙසා සාහිත්‍යවේදියකු මෙන් ම සමාජ හා දේශපාලනික ක්‍රියාකාරිකයකු ලෙසත්, සමාජ පර්යේෂකයකු ලෙසත් තරුණ වියේ දී ඔහු තැබූ පියවර දිවියෙන් සමුගන්නා තුරුම දශමයකින් හෝ පසුපසට ගත්තේ නැත.
කලාව සහ සාහිත්‍ය විනෝදාංශය ලෙස යොදා ගෙන සමාජය දැනුම්වත් කිරීමේ මෙවලම් ලෙස භාවිත කරමින් ඔහු සිය සාහිත්‍ය කාර්යයන්වල නිරත වූවේ ය. අධ්‍යාපනය හදාරන සමයේ දිනපති, සෙයිදි සහ ඊළනාඩු වැනි පුවත්පත්වලට ලිපි සම්පාදනය කළේ ය. 1960දී ලේඛන කලාවට පිවිසි ඔහු කණ්ඩියූර් කණ්ණන්, මාතලේ ගෞතමන් සහ කවිතා යන ආරූඪ නම්වලින් ලිපි ලියනු ලැබුවේ දේශපාලන අධිකාරියෙන් එල්ල වූ විවිධ බලපෑම් හේතුවෙනි. සුදන්දිරන්, මාණවන්, තමිල්අරුවි, තිරුමගන්, කලෛමලර්, මාණවමලර්, මාලෛමුරසු, ඊළනාඩු, සින්දාමණි, සිරිත්තිරන්, අමුදම්, දේශභක්තන්, නවමණි සහ දිනකරන් ඇතුළු රාශියකට ඔහු ලිපි මෙන්ම කෙටි කතා සම්පාදනය කර ඇත. එමෙන්ම කොඑන්දු (ළා දළු) සහ කුන්ටිරන් කුරල් (කන්දක හඬ) යන වාර සඟරාවල ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ ය. කොළුන්දු සඟරාවේ 31 වන කලාපයේ සිට අඛණ්ඩව වසර විස්සක් එහි ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කිරීමත් විශේෂත්වයකි. එමෙන්ම ලංකා කම්කරු සංගමය විසින් ප්‍රකාශයට පත් කළ “ජනශක්ති” නමැති මාසික සඟරාවේ සංස්කාරකවරයා ලෙසට ද ඇන්ටනි ජීවා වගකීම් දරා ඇත. ඔහු තීරු ලිපි ලියන්නකු ලෙස කටයුතු කර ඇති අතර නිනෛත්තු පාක්කීරේන් (සිහි කරමි) සහ පඩිත්තදුම්, පාත්තදුම්, කේට්ටදුම් (උගත් දේ දුටු දේ කියවූ දේ) යන ඒවා එවක සමාජය තුළ දැඩි ලෙස කතා බහකට ලක්විය. එමෙන්ම ඔහු ‘දේශම්’ නමැති විකල්ප පුවත් පතෙහි ප්‍රධාන කර්තෘ ලෙස ද කටයුතු කළේය.
වේදිකා නාට්‍ය සහ වීදි නාට්‍ය කෙරෙහි දැඩි උනන්දුවකින් පසු වූ ඇන්ටනි ජීවා විසින් 1970 වසරේදී මුල්ලිල් රෝජා (කටු මත රෝස) නමින් නට්‍යයක් වේදිකාගත කළේ ය. 1970 වසරේදී වතුකම්කරුන් මුහුණ දෙනු ලබන වාර්ගික ගැටලු තේමා කරගනිමින් අක්කිනි පූක්කල් (ගිනිමල්) සහ වීණෛ අළුකින්රදු (වීණාවක් වැළපෙයි) යනුවෙන් නාට්‍ය දෙකක් රචනා කර තිබේ. ඉන්ණෛ අළුකින්රදු (වීණාවක් වැළපෙයි) නාට්‍යයට එවක රජය විසින් වාරණයක් පනවනු ලැබිණි. වෙලිච්චම් (ආලෝකය), සාත්තන් වේදම් ඔතුකිරතු (යක්ෂයා ධර්මය උගන්වයි) අලෛගල් (මුහුදු රළ) ඇතුළු නාට්‍ය 14ක් පමණ රචනා කර වේදිකාගත කර තිබේ. ජාතික ගුවන් විදුලියේ දෙමළ සේවය සඳහා ද ඔහු විසින් එවකට නාට්‍ය රැසක් සම්පාදනය කර තිබිණි. 1980 වසරේදී කොළඹ සහ කඳුකරය කේන්ද්‍ර කරගනිමින් ඇන්ටනි ජීවාගේ ප්‍රධානත්වයෙන් වීදි නාට්‍ය රඟදක්වා තිබේ. කඳුකර ප්‍රදේශවලට වීදි නාට්‍ය හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස ඇන්ටනි ජීවා හඳුන්වා දිය හැකිය. නළුවකු ලෙස ඔහු සිංහල චිත්‍රපට කිහිපයක සුළු චරිත නිරූපණය කර ඇති බවද සඳහන් ය.
මලෛයග සාහිත්‍ය හෙවත් කඳුකර සාහිත්‍ය සහ සාහිත්‍යකරුවන් ජාත්‍යන්තර මටට්මට රැගෙන ගිය ගරුත්වය සමාජ සවිඥානික ලේඛකයකු වූ ඇන්ටනි ජීවා හට හිමිවිය යුතුය. ඔහු සාහිත්‍යමය ග්‍රන්ථ රචනා කිරීමට වඩා පර්යේෂණ කෘති රචනා කිරීමට දැඩි ඇල්මක් දැක්වූවේ ය. ඒ අනුව 1981 වසරේ දී ඊළත්තින් තමිල් නාඩුගම් (ලාංකීය දෙමළ නාට්‍ය) ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කළේ ය. 1985 වසරේ දී අන්නෛ ඉන්දිරා (ඉන්දිරා මාතාව), 1990 වසරේ දී ගාන්ධි නඩේසයියර්, 1995 වසරේ දී මලෛයගමුම් ඉලක්කයමුම් (කඳුකරයත් සාහිත්‍යයත්), 1997 වසරේ දී මුගමුම් මුගවරියුම් (මුවත් ලිපිනය) යන ග්‍රන්ථ හෙතෙම ප්‍රකාශයට පත් කළේ ය.
ඇන්ටනි ජීවා විසින් 1998 වසරේ දී කඳුකර සාහිත්‍යකරුවන්, භාෂා උන්නතිය වෙනුවෙන් විශේෂ මෙහෙයක් කළ ප්‍රවීණයන් සහ කඳුකර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ විරුවන් 12 දෙනකුගේ තොරතුරු ඇතුළත් කරමින් ‘මලෛයග මාණික්කංගල්’ (කඳුකර මාණික්‍යයන්) නමැති ග්‍රන්ථය රචනා කළේ ය. ඊට ලාංකීය දෙමළ සාහිත්‍ය තුළ සුවිශේෂි ස්ථානයක් හිමි වෙයි. කෝ. නඩේසයියර්, මිනාච්චි අම්මාල්, පෙරි. සුන්දරම්, රාමානුජම්, ජේ.එස් පෙරෝ, ජොර්ජ් ආර්. මේත්තා, මලෛයග ගාන්ධි රාජලිංගම්, වි.කේ වෙල්ලයන්, සී.වී වේලුපිල්ලෛය, ඒ. ඇලිස්, සෝමසුන්දරම්, අසෝකා බි.ඩි රාජන් යන අයගේ විස්තර ඊට ඇතුළත් කර තිබිණි.
1999 වසරේ දී ඇන්ටනි ජීවා විසින් රචිත අක්කිනි පූක්කල් (ගිනිමල්) නාට්‍ය පිටපත ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. 2002 වසරේදී ඔහු ලාංකීය දෙමළ සාහිත්‍යය කෘති පහක් හඳුන්වා දුන්නේ ය. සී.වී සිල නිනෛවුගල් (සී.වී ස්මරණ කිහිපයක්), මලෛයග තමිල් ඉලක්කියත්තුක්කු මුස්ලිම් එළුත්තාලර්ගලින් පංගලිප්පු (කඳුකර දෙමළ සාහිත්‍යයට මුස්ලිම් ලේඛකයන්ගේ දායකත්වය), කුරිංජි කුයිල්ගල් (කඳුකර කොවුලන්), මලෛයම් වළර්ත්ත කවිතෛ (කඳුකරය පෝෂණය කළ කවි) සහ කණ්ඩි මාවට්ට තමිලර්ගලින් වරලාට්ටෘ පදිවුගල් (නුවර දිස්ත්‍රික්කයේ ඓතිහාසික සටහන්) යන කෘතින් ඒ අතර විය.
2003 වසරේදී තිරුන්දිය අසෝකන් (යහමඟට පැමිණි අශෝක), සහ නෙංජිල් පදින්ද අයිරෝපිය පයනම් (මතකයේ රැඳුණු යුරෝපා සංචාරය) යන ග්‍රන්ථ ප්‍රකාශයට පත් කළේ ය. 2005 වසරේදී මලෛයග තොළිල්සංග වරලාරු (කඳුකරයේ වෘත්තිය සමිති ඉතිහාසය), 2007 වර්ෂයේදී සිරගු විරින්ද කාලම් (අත්තටු ලැබූ කාලය), 2014 වසරේදී ඔරු වානම්පාඩියින් කතෛ (එක් කොවුලෙකුගේ කතාව) යන කෘතිය ඔහුගේ ස්වයං චරිතප්‍රදානයක් ලෙස ප්‍රකාශයට පත් විය. වසර 200ක ඉතිහාසයක් හිමි මලෛයගම් ප්‍රජාව හෙවත් කඳුකර ජනයාගේ ඉතිහාසය සහ ඔවුන්ගේ අනන්‍යතා සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නනෙකුට ඇන්ටනි ජීවිගේ කෘති පරිශීලනය කිරීමෙන් ලබාගත හැකි දැනුම හා අත්දැකීම් අපමණ ය.
කඳුකරයේ ලේඛකයන්ගේ කෘති ප්‍රකාශයට පත් කිරීම සඳහා ආරම්භ කළ ‘කඳුකර ප්‍රකාශන’ ආයතනයේ ලේඛකාධිකාරී ලෙස කටයුතු කළ ඇන්ටනි ජීවා මෙරට දෙමළ සාහිත්‍යයේ උන්නතිය සඳහා සිදු කළ සේවය අතිමහත්ය. කඳුකර ලේඛිකාවන්ගේ කෙටි කතා සංස්කරණය කර 2000 වසරේ දී “කුරිංජි මලර්ගල්” (කඳුකරයේ පුෂ්ප) යන නමින් කෙටි කතා සංග්‍රහයක් ද, 2002 වසරේ දී ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කිවිඳියන් 21 දෙනෙකුගෙන් කවි එකතුවක් සංස්කරණය කර කුරිංජි කුයිල්ගල් (කඳුකර කොවුලන්) යන නමින් කාව්‍ය සංග්‍රයක් සහ 2004 වසරේ දී කුන්දවෛ, කුරමහල්, නයීමා සිද්දික්, පත්මා සෝමකාන්තන්, පූරණි, කෝකිලා මහේන්ද්‍රන්, මණුඩූර් අශෝකා ඇතුළු ලේඛිකාවන්ගේ මෙන් ම නව පරපුරේ තරුණ ලේඛිකාවන් ඇතුළු 25 දෙනෙකුගේ කෙටි කතා සංස්කරණය කර ‘අම්මා’ යන නමින් කෙටි කතා සංග්‍රහයක් ඔහු ප්‍රකාශයට පත් කළේ ය. කඳුකරය නියෝජනය කරන කාන්තාවන්ගේ කෙටි කතා, කවි සහ ලිපි කොළුන්දු සඟරාවෙන් හඳුන්වාදීමට ඔහු කටයුතු කළේ ය.
තරුණ සාහිත්‍යකරුවන් දිරිමත් කිරීමට ඇන්ටනි ජීවා නිරතුරුවම කටයුතු කර ඇත. තරුණ මිතුරු සමාජයක් ඇති කරගැනීමට දැඩි කැමැත්තක් දක්වන ඔහු පොත් එළිදැක්වීම්, පොත් ප්‍රදර්ශන වැනි අවස්ථාවක් මඟහරිනු ලබන්නේ ඉතා කලාතුරකිනි. එහිදී හමුවන ලේඛක, ලේඛිකාවන්ගේ ලිවීම දිරිමත් කිරීමට ඇන්ටනි ජීවා වචනයෙන් හෝ අතදීම සැමදාමත් කළ කාර්යයකි. එමෙන්ම සෑම කෙනෙකුටම පොත් සහ සඟරා තෑගි කිරීම ඔහු පුරුද්දක් කරගෙන සිටියේ ය. ලාංකීය දෙමළ සාහිත්‍ය පාසල් දරුවන් අතර ප්‍රචලිත කිරීමට ඇන්ටනි ජීවා අවස්ථා කිහිපයකදීම උත්සහා දරා ඇත. මේ සම්බන්ධයෙන් සම්මානලාභි භාෂා පරිවර්තක සාහිත්‍යවේදියකු වන ජී.ජී සරත් ආනන්ද සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් සිහිපත් කර තිබුණි.
2017 වසරේ සැප්තැම්බර් මස 17 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ එකී වසරේ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල පැවැති අතර එහි එක් ප්‍රධාන දේශනයක් සිදු කළේ, ඇන්ටනි ජීවා විසිනි. ඊට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක්ව සිටියේ, එවක අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතා යි. එහිදී ඇන්ටනි ජීවා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, මෙරට දෙමළ භාෂා සහ සාහිත්‍ය විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති ඉන්දියානු සාහිත්‍යවලට අමතර මෙරට සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ ද ඇතුළත් කරන ලෙසයි. එම ඉල්ලීම කෙතරම් කාලෝචිත ද යන්න මෙරට දෙමළ සාහිත්‍ය කෙරෙහි උනන්දුවෙන් පසුවන අයට මෙන්ම සාහිත්‍ය උන්නතිකාමී සැමට අමුතුවෙන් කිව යුතු නොවේ. එය අප වැනි රටක සහජීවනයට ඉමහත් ආලෝකයක් වනු නිසැක ය. එෙහත් එය ඉටු වූයේද, යන්න සැක සහිත ය.
අඩ සියවසකට අධික කාලයක් මෙරට දෙමළ සාහිත්‍ය සඳහා ජීවිතය කැප කළ සමාජ සවිඥානික ලේඛක ඇන්ටනි ජීවා 2025 වසරේ ජනවාරි මස 10 වැනිදා සිය 80 වන වියෙහිදී මෙලොවින් සමුගත්තේ ය. එහෙත් ඔහු කඳුකර සාහිත්‍ය සඳහා සිදු කළ සේවය චිරාත් කාලයක් නොවෙනස්ව පවතිනු ඇත. ඔහුගේ නිර්මාණ සිංහල භාෂාවට පරිවර්තනය වීමේ අවශ්‍යතාවක් ද මතුවී තිබේ. එලෙස කිරීමෙන් ඒවායේ වටිනාකම තවත් වැඩි වනු ඇත.