මේ කියන්නේ ගල්පාත පැත්තේ වයසක ලොකු උන්නැහේකෙනකුගේ මළ ගෙදරක කතාන්දරයකි. පිටගම්කාර තරුණ කණ්ඩායමක් මළ ගෙදරට ආසන්නයේ පිහිටි වත්තක රාත්‍රිය ගත කළේ මධුවිත තොළ ගාමිනි. හිටි අඩියේ එක් තරුණයකුගේ ජංගම දුරකතනය නාද වුණේ සියල්ලන්ගේම අවධානය ඒ දෙසට යොමු කරමිනි. ‘පලයං පලයං මෙතැනින් අහකට ගිහිල්ලා ඕක ගනිං. අපිට වද නොදී’ විහිළු තහළුවෙන් එතැන සිටි පිරිස මේ තරුණයා ඉවතට තල්ලු කළහ. කතාව කෙතරම් රසවත් ද යත් හිටි තැනින් ටිකෙන් ටික ඈතට ගිය මේ තරුණයා හිටි අඩියේ අතුරුදන් වූයේ ‘බුදු අම්මෝ’ යැයි කෑගසමිනි. මධුවිතින් රසවත් වෙමින් හුන් අයගේ ඉහමොළ රත්වූයේ දුටු දර්ශනයෙනි. මේ තරුණයා කතාවෙන් කතාවෙන් ඈත තිබූ ළිඳකට වැටී තිබුණි. වතුරේ දියබුං ගසමින් කෑ ගසමින් ගොඩ එන්නට දඟලන තම මිතුරා බේරාගැනීමට අසල සිටි සියල්ලෝම වෙහෙසුණහ.
‘අනේ සුසිල්……. ඇයි බං ළිඳට පැන්නේ. ප්‍රශ්නයක් නම් බේරගන්න තිබුණානේ. ජීවිතේ නැති කර ගන්න ඕන නැහැනේ. ගෑනුන්ගේ දේවල්වලට ළිඳට පනින්න ඕනද?’ ළිඳේ සිටි තරුණයාගේ මිතුරෝ කෑ ගසමින් ඔහු බේරාගන්නට හැදූහ.
මේ කලබගෑනිය මළ ගෙදර සිටි සියල්ලන්ටම ඇසිණි. එතැන හුන් සියල්ලෝම ළිඳ ළඟට දිව එන්නට වූහ. ‘සුසිල් අයියා ළිඳට පැනලා..’ යනුවෙන් හා හූව දැන් හැමෝම කියන්නට වූහ. මේ කෑ කෝ හඬින් සිද්ධිය වූ තැන පිහිටි නිවාසවල විදුලි පහන් දැල්වෙන්නට විය. සැණෙකින් නිදි ඇඳුම පිටින්ම දරුවන් දෙදෙනකු ද සමඟ එතැනට දිව ආවේ තරුණ කාන්තාවකි.
‘අනේ සුසිල් … අනේ සුසිල්.. අයියෝ.. බේර ගන්න.. මගේ මහත්තයා’ ඇය විදුලි වේගයෙන් පැමිණ කෑමොර දෙන්නට වූ අතර, දරු දෙදෙනා ද මහ හයියෙන් විලාප තියන්නට වූහ. මොහොතකින් ළිඳට වැටුණු පුද්ගලයා ලණුවක් සහ ඉනිමඟක් ආධාරයෙන් සපත්තු මේස් පිටින්ම ළිං කටින් එළියට ආවේ හති අරිමිනි. මේ දුටු දසුනින් සියල්ලන්ම මඳකට නිහඬ විණි.
‘මේ කවුද මේ…. ?’ මොහොතකින් මරළතෝනිය නැවතිණි. ‘මේ සුසිල් නෙමෙයි නේ.. මේ වෙන කවුද නේ…’ එතැන සිටි ගමේ අය එසේ කියද්දී තරුණ කාන්තාව ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූයේ ‘මේ මගේ මහත්තයා නෙමෙයි නේ’ යැයි කියමිනි. ඈතින් තවත් තරුණයෙක් දිව එනු පෙනුණේ ඒ මොහොතේදීය. ‘මේ මං ඉන්නේ….’. මළ ගෙදර මොහොතකට අමතක වී සියල්ලෝම මහ හඬින් සිනා සලන්නට වූහ. ඒ සුසිල් යනු, අසල නිවෙසේ හිමිකාර යුද හමුදාවේ හිටපු ආබාධිත සෙබළෙකි. ඔහු මේ සිද්ධිය වන විට මළ ගෙදර බර කතාවක නියැළී සිට ඇත. සිය බිරිඳගේ කෑගැසීමෙන් බියට පත්ව ඔහු එතැනට ඇවිත් තිබිණි. ළිඳට වැටී තිබුණේ පිටගම්කාර තවත් සුසිල් කෙනෙකි. ‘මදෑ කොළා’ ළිං කටින් එළියට ආ සුසිල් කියනු කාටත් ඇසිණි.
ගල්පාත – චන්දන ජයලාල්