අනුරාධපුර, තුන්වන පියවර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අමතර පන්තියක සිසුන් පිරිසක් අතර පසුගියදා හටගත් ගැටුමකින් එක් සිසුවකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
තුවාල ලැබූ සිසුවාගේ පියා සිසුන් පිරිසකගේ නම් ද සඳහන් කරමින් පොලීසියේ පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම පන්තියේ සිසුන් පිරිසක් සහ විජයපුර ප්‍රදේශයේ තරුණයන් 15 දෙනකු පමණ පැමිණ හෙල්මට්, පොලු මුගුරුවලින් පහරදී තම පුතාට තුවාල සිදු කර ඇති බවයි. මෙම පහරදීම හමුවේ තම දරුවාට වාර විභාගය ද අහිමි වූ බවත්, දින 5ක් දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත් බවත්, මේ සඳහා නීතිමය සාධාරණයක් තමන් අපේක්ෂා කරන බවත් පියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිසුවාගේ පියා වන ආර්.ආර්. විජේවර්ධන මෙසේද පැවසීය.
“මේ සිදුවීම වෙන්නේ පෞද්ගලික ආයතනයක් තුළ පවත්වාගෙන ගිය ටියුෂන් පන්තියක් ඇතුළේ. මගේ දරුවට 15ක විතර පිරිසක් ඇවිත් පහරදීලා යතුරු පැදියකින් බලහත්කාරයෙන් අරගෙන ගිහින්. පොලු මුගුරු, හෙල්මට්වලින් තමයි මේ පිරිස පහර දීලා තියෙන්නේ. ඒ වෙලාවේ පුතා මගේ බාල දියණිය ළඟට දුවගෙන ඇවිත් බේරාගන්න කෙනෙක් නැති නිසා. අවසානෙට නංගි ඉදිරිපිටම ආපු අය දරුවට බිම දාගෙන ගහලා. දරුවා බිම වැටිලා ඉඳලා තියෙන්නේ. ඔය කියන අනුරාධපුර තුන්වන පියවර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ කවුරුත් දරුවාව බේරා ගන්න ඇවිත් නෑ . ප්‍රතිකාර සඳහා රැගෙන ගිහින් තිබුණෙත් නෑ. අපි ගිහින් තමයි දරුවව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ. ඒ රෝහලේ 11 වාට්ටුවේ සහ 66 වාට්ටුවේ මගේ පුතා දින 5ක් නේවාසික ප්‍රතිකාර ලබා ගත්තා.
අපි පහරදුන් අය පිළිබඳ සියලු විස්තර අනුරාධපුර ළමා හා කාන්තා අංශයේ පැමිණිල්ලක් දමා සඳහන් කළා. නමුත් තුන් දෙනෙක් හැර අනෙත් සියල්ල තවමත් පොලීසිය මගහරිමින් ඉන්නවා. පොලීසියේ ඇතැම් නිලධාරිනුත් නිහඬයි. පෞද්ගලික පන්තියේ සී.සී.ටී.වී පවා විසන්ධි වෙලා ඒ වෙලාවේ. මේ ගැන මට ලොකු සැකයක් තියෙනවා සැලසුම් කරලා මේ දරුවා රැගෙන යන්න ද මේ අය ආවේ කියලා. මම ව්‍යාපාරිකයෙක්. මගේ දරුවා බියෙන් ඉන්නේ දැන්. මම මේ පිළිබඳ සාධාරණයක් බලාපොරොත්තු වෙනවා.”
ඒ පිළිබඳ අප අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කටයුතු අංශයෙන් විමසීමක් කළ අතර, එහිදී පොලිස් නිලධාරිනියක් සඳහන් කළේ,
එම පැමිණිල්ල පිළිබඳ පොලීසිය නීතිය ක්‍රියාත්මක කළ බවත්, එම ගැටුම සිසුන් අතර සිදුවූ ගැටුමක් බවත්, ඒ පිළිබඳ නඩු මඟට ගොස් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් සිටින බැවින් දුරකතනය ඔස්සේ වැඩි තොරතුරු ලබාදීමට නොහැකි බවත්ය.
කැබිතිගොල්ලෑව විශේෂ එස්.ජී. උබේපාල