Wednesday, April 23, 2025
Home » කුරුල්ලන් එළවන්න යැවූ අහස් කූරු වාහනය ඇතුළේ පුපුරලා

කුරුල්ලන් එළවන්න යැවූ අහස් කූරු වාහනය ඇතුළේ පුපුරලා

ගුවන්තොටුපොළ සත්ත්ව පාලන නිලධාරීන් 3කට තුවාල - වාහනයටත් දැඩි හානි

by sachintha
January 22, 2025 2:04 am 0 comment

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ධාවන පථය අසල ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුලු රංචුවක් පලවා හැරීම සඳහා එල්ල කළ පුපුරන ද්‍රව්‍ය සහිත අහස්කූරු වර්ගයක් ආපසු කැරකී විත් ඔවුන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී පිපිරීමෙන් ගුවන්තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා පෙරේදා (20) මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරියා පැවසීය.

ගුවන්තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන්ට පෙරේදා (20) දහවල් 11.45ට පමණ ගුවන්තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂීන් රංචුවක්, ගුවන් ගමන්වලට බාධා වන අයුරින් පියාසර කරමින් සිටින බවට තොරතුරු හෙළිව ඇත. ඒ අනුව, නිලධාරීන් තිදෙනෙක් කැබ් රථයකින් ගුවන් ධාවන පථය අසලට ගොස් එම පක්ෂි රංචුව පලවා හැරීම සඳහා පුපුරන ද්‍රව්‍ය අඩංගු අහස්කූරු පක්ෂි රංචුව දෙසට එල්ල කර තිබේ. එම වෙඩිල්ල නොපිපිරී යළිත් එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී ඇති අතර, ඒ වන විටත් තවත් එවැනි වෙඩි කිහිපයක්ම එම රථය තුළ තිබී ඇති බැවින් ඒවා එක්වරම පිපිරීමට ලක්ව හදිසි ගින්නක් ඇති වී ඇත. ඒ සමඟම කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගිනි නිවීම් රථ කිහිපයක් යොදා ගනිමින් එම ගින්න මැඬපවත්වා තිබේ.

මෙම සිදුවීමෙන් මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එම නිලධාරීන් ගමන් කළ කැබ් රථයට ද දැඩි හානි සිදුව තිබිණ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT