Home » ආදි සිසුන් දෙදෙනාගේ පහර කෑමට ලක්වූ ක්‍රීඩා උපදේශක රෝහලේ

ආදි සිසුන් දෙදෙනාගේ පහර කෑමට ලක්වූ ක්‍රීඩා උපදේශක රෝහලේ

by sachintha
January 22, 2025 2:01 am 0 comment

ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ ක්‍රීඩා පරිපාලක හා ක්‍රීඩා උපදේශක දීප්ති කුමාර ගුරුවරයාට ආදි සිසුන් දෙදෙනෙකු බරපතළ ලෙස පහර දීමෙන් ඒ මහතා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

වික්‍රමබාහු පාසල් ක්‍රීඩා පිටිය තුළ පැවැත්වෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් හට ආහාර ගෙන ඒම සඳහා ගම්පොළ මරියවත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම සිසුන් දෙදෙනා මෙම ක්‍රීඩා ගුරුවරයාහට පහරදී ඇති බව පොලීසිය පවසයි.

මොවුන් අ.පො.ස.සා/පෙළ විභාගයෙන් පසු පාසලේ තාක්ෂණ හා නිපුණතා අංශවල අධ්‍යාපනයෙන් පසු පාසලෙන් ඉවත් වූ සිසුන් දෙදෙනකු බවත් පාසලේ පාපන්දු ක්‍රීඩා කළ මොවුන් මෙම ගුරුවරයා සමඟ පැවති අමනාපයක් මුල් කරගෙන මෙම පහරදීම සිදුවූ බවත් ඒ සම්බන්ධ පැමිණිල්ලේ සඳහන් වෙයි.

ගම්පොළ වික්‍රමබාහු හා ගිරිඋල්ල වික්‍රමශිලා පාසල් අතර පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ දී එම ක්‍රීඩකයන්ට රාත්‍රී ආහාර ගෙන ඒම සඳහා මෙම ගුරුවරයා යතුරුපැදියකින් මරියවත්ත ප්‍රදේශය වෙත ඊයේ රාත්‍රියේ ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබේ.

යතුරුපැදියේ සිටි ගුරුවරයාට පිටුපසින් පැමිණි මොවුන් පොල්ලකින් පහර දීම නිසා බිම වැටුණු බවත් ඉන්පසු හිසට පහර දීමෙන් හෙල්මටයට පවා හානි සිදු වූ බවත් පසුව බිම වැටී සිටි මොහුට පාගා පහර දුන් බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම ගුරුවරයා ගම්පොළ රෝහල් හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති අතර ගම්පොළ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර මෙම ගුරුවරයා පහර දුන්නයි පවසා මෙම පහරදීමට සම්බන්ධ වූ දෙදෙනාගෙන් එක් අයකුද ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇති අතර අනෙක් අය පිළිබඳව සොයා බලන බවද පොලීසිය පවසයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT