මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ උඩුපිල සතිපොළ පවත්වාගෙන යෑමට නියමිත ස්ථානයක් නොමැති වීම නිසා, තමන් මෙන්ම පාරිභෝගික ජනතාව ද දැඩි අපහසුතාවකට පත්වන බව සතිපොළේ වෙළෙඳ ප්‍රජාව දැඩි කලකිරීමකින් යුතුව පවසා සිටිති. උඩුපිල, දෙල්ගොඩ හා නාරංවල අවට ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව විශාල පිරිසක් උඩුපිල නගරයේ කුඩා බිම්කඩක ඉරුදින පැවැත්වෙන මෙම සතිපොළට පැමිණෙති. ඔවුන්ට අවශ්‍ය බඩු භාණ්ඩ අලෙවි කිරීමට ඉතාමත් සීමිත බිම්කඩක විශාල වෙළෙඳුන් පිරිසක් සිටියත්, පැමිණෙන ජනතාව අතිවිශාල වීම නිසා එම බිම් කොටසේ භාණ්ඩ අලෙවි කිරීම විශාල අභියෝගයක් බව වෙළෙඳ ප්‍රජාව සඳහන් කරති. දැනට සතිපොළේ අලෙවි කරන භාණ්ඩ අව්වට තැම්බෙමින්, වැස්සට තෙමෙමින් පැවතීම නිසා නිසි ප්‍රමිතියකින් තොර භාණ්ඩ තමන්ට මිලදී ගැනීමට සිදුවී ඇතැයි ද පාරිභෝගික ජනතාව පවසා සිටිති.
එවැනි අභියෝග රැසක් මධ්‍යයේ වසර ගණනාවක් පුරා කිසිදු වගකිවයුතු අංශයක අවධානය යොමු නොවී, හුදෙකලා වී ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මෙම සතිපොළ පවත්වාගෙන යෑම විශාල අපරාධයක් බව ද ජනතාව පවසති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාරංවල පදිංචි ආර්.කේ. සුමතිපාල මහතා මෙසේ කීවේය.
“උඩුපිල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසල පොළක් පවත්වාගෙන යෑම සඳහා සකස් කළ අබලන් වූ තහඩු මඩු පේළියක් තියෙනවා. ඒවා ඇතුළේ සිට වෙළෙඳාම් කිරීම සිදු කළත්, ඒ අසලට පාරිභෝගික ජනතාවට යෑම ඉතාමත් අනාරක්ෂිතයි. විශාල වෙළෙඳුන් ප්‍රමාණයක් සහ විශාල පාරිභෝගික ජනතාවක් මෙම කුඩා බිම්කඩේ ඉතාමත් අපහසුතාවයකින් එහා මෙහා ගමන් කිරීම නිසා භණ්ඩයක් මිලදී ගැනීම පවා ඉතාමත් අපහසුයි. මේ සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු අංශවල අවධානය යොමු කර, උඩුපිල පොළ සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ජනතාවට කරන විශාල සේවයක්.”
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ