සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කරමින් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.
මෙරට කඩා වැටුණු ආර්ථිකය ස්ථායීකරණය සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට රජය සකස් කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අස්සන් කළ ගිවිසුමේ කොන්දේසි හා පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
උපයන විට ගෙවීමේ බද්ද රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. දරුවන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමට යෝගට් දේශීය නිෂ්පාදනය අගය එකතු කළ බද්දෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා. අපනයන සේවාවන් සඳහා පසුගිය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත කර තිබුණේ අපනයන සේවාවන්ට සියයට 30ක බද්දක් අය කිරීමට. එය සියයට 15 දක්වා අඩු කර තිබෙනවා. ආර්ථික අපහසුතා තිබෙන පාසල්වල දරුවන්ට උපකාර කිරීමට එක් දරුවකුට රුපියල් 6000ක දීමනාවක් සූදානම් කර තිබෙනවා. රජයේ නියමයන්වලට පටහැණිව කටයුතු කරන ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නොත් ඒවා සොයා බලා අදාළ නීතිය ක්‍රියාවට නංවනවා.