Home » ක්ලීන් ශ්‍රී ලංකා මඟින් රටේ නීතිය රැකෙනවා -අගමැතිනි හරිනි අමරසූරිය

ක්ලීන් ශ්‍රී ලංකා මඟින් රටේ නීතිය රැකෙනවා -අගමැතිනි හරිනි අමරසූරිය

by sachintha
January 22, 2025 3:13 am 0 comment

ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනතාව සම්බන්ධ කරගෙන රටේ පරිවර්තනයක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවාය.

නීතියේ ආධිපත්‍ය රට තුළ නැවත ස්ථාපිත කිරීම ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් සිදු කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය.

ක්ලීන් ශ්‍රී ලංකා විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

අගමැතිනිය මෙසේද පැවසුවාය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ මේ ක්‍රියාවලියට ජනතාව සහභාගි කර ගැනීම. ඒ සහභාගිත්ව වැඩසටහන තමයි ජනවාරි 01 වැනිදා සිට අපි ආරම්භ කළේ. ස්වේච්ඡාවෙන් ජනතාව මේ සඳහා සම්බන්ධ වුණා. ඒවා අගය කළ යුතුයි. මේ රටේ ධානපතීන්, ව්‍යාපාරිකයන් තමන්ගේ සමාජය වෙනුවෙන් කැපවීමක් කරන්න කැමති නම් එය අගය කළ යුතුයි. එහෙම ව්‍යාපාරිකයන් තමයි අපට අවශ්‍ය. ඒක තමයි අපි කරන්න යන වෙනස. පෙර තිබූ දේශපාලන සංස්කෘතිය තුළ එවැනි ව්‍යාපාරිකයන්ට ඉඩක් තිබුණෙත් නැහැ. පෙර තිබූ ආණ්ඩුවලින් කළේ ව්‍යාපාරිකයන් තමන්ගේ පෞද්ගලික සාක්කුවලට යොමු කර ගැනීම. එවැනි පුද්ගලයන්ට මේ ක්ලීන් ශ්‍රී ලංකා තේරුම් ගන්න බැරි වීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ.

නරියාට මිදි කන්න බැරි වුණාම ඒවා ඇඹුල් කියලා නරියා ගිය කතාවක් තිබෙනවා. ඒ වගේ දෙයක් තමයි අද විපක්ෂයට වෙලා තිබෙන්නේ. අද රට වෙනස් වෙමින් තිබෙනවා. නීතියේ ආධිපත්‍ය ඇති වෙමින් තිබෙනවා. ඒක විපක්ෂයට දරා ගන්න බැරි බව අපට තේරෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට එකඟතාව පළ කරන එක පාර්ලිමේන්තුව තුළ හැසිරීමෙන්වත් පෙන්නුම් කරන්න කියලා මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT